පොළට ගොස් පැමිණි විජේරත්න උන්නැහැ රැගෙන ආ බඩු මල්ල බිමින් තබා ඉස්තෝප්පුවේ ලෑලි පුටුවට බර වූයේ "අප්පේ ග්‍රීස්මෙ" කියමිනි. කුස්සියේ සිට හොද්දක් හැඳි ගාමින් සිටි ඔහුගේ බිරින්ඳෑ ඉස්තෝප්පුවට පැමිණ බඩු මල්ලත් රැගෙන යලිත් කුස්සියට ගියේ ඔහු නාගන්නට ළිඳට යාමට පෙර තේ කහට වක්කිරීමටයි.
"අද නම් ඕං අරන් ගිය පලතුරු ටික සේරෝම ඉවරයි හවස් වෙන්ඩත් කලියෙන්. ඔහේ පුවක් ටික අහුලලා තිබ්බද? ඒ ටිකත් හෙට හංදියෙ කඩේට අරන් ගියා නම් හරි විකුණගන්ට" විජේරත්න උන්නැහැ කීවේ ගෙලෙහි වූ ලේන්සුව රැගෙන පවන් ගසමිනි.
"ආං මං අහුලල තිබ්බා. අද ලොකු ළමයා ආවා ඔහේ පොළට ගිය අතරෙ. රුපියල් දාහක් දීලා ගියා මං එපා කියද්දි. මේ ටිකේම ගේ වටේ තාප්පෙ බඳිනවා කියලා වියදම් වැඩීලු එන්න උනෙත් නැත්තෙ ඒ හින්දලු. ඔහේටත් දොස් කිව්වා මේ නහින දෙහින කාලේ කාල බීලා ගෙදරට වෙලා ඉන්නෙ නැතුව හම්බකරන්ට දුවනවාය කියලා, දරුවො රස්සාවලුත් කරද්දි."
විජේරත්න උන්නැහැගේ බිරිඳ හාමිනේ කීවේ දෝතින්ම තේ කහට කෝප්පය උන්නැහැට පිළිගන්වමිනි.
තේ කහට උගුරක් බී උස් හඬින් සිනාසුණු උන්නැහැ හාමිනේ දෙස බලා
"හාමිනේගෙ නම් නහින දෙහින කාලෙ වෙන්ඩැති මගෙ නම් නෑ ඕං" කියමින් දුම් දමන කහට කෝප්පය උගුරින් උගුර බිව්වේය.
"අනේ අම්මපා.. ඔය විහිලු කෙරිල්ලෙන් මගෙ ලේ කෝප කරන්ඩ එපා. කොහෙද ඉතින් බණක් භාවනාවක් කොරගන්ඩවත් නිදහසක් තියෙනවෑ වෙළඳාමෙ සිහිය මිසක්. යන ලෝකෙට සල්ලි අරන් යන්ට බෑ පිං පව් මිසක්"
විජේරත්න උන්නැහැ බී අවසන් කළ හිස් තේ කෝප්පයත් රැගෙන තවත් මොනවදෝ කුටු කුටු ගාමින්ම හාමිනේ කුස්සිය දෙසට ඇදෙද්දී උන්නැහැ තුවායත් සරමත් රැගෙන ළිඳ දෙසට පියමං කලේ සිහින් සිනාවක් මුහුණේ රඳවාගෙනමය.
විජේරත්න උන්නැහැටත් හාමිනේටත් දූවරුන් දෙදෙනෙක් හා පුතුන් දෙදෙනෙක් සිටිති. සියල්ලෝම රැකියාවන් ලැබ විවාහ වී දරුමල්ලන් ද ලැබ සිටින අතර අහල පහල ගම් වලම ඔවුනොවුන්ගේ නිවෙස් තනා ජීවත් වූහ. උන්නැහේත් හාමිනේත් මහගෙදර තනිව විසූහ. වත්තේ පිටියේ වැවෙන පලතුරක් හෝ ගෙදර හදන රසකැවිල්ලක් ද රැගෙන ඉඳහිට මුණුබුරු මිණිබිරියන් බැලීමට යාමටත් දෙමාල්ලන් පුරුදුව සිටියෝය. දරුවන්ගේ අසනීප කරදර වෙලාවල් වලදීත් පවුලට මුණුබුරකු හෝ මිණිබිරියක අලුතින් එකතු වූ අවස්තාවලදීත් හැකි සෑම උදව්වක්ම කරමින් තම යුතුකම් ඉටුකිරීමට ද දෙමාල්ලන් අමතක කළේ නැත.
දරුවන් විසින් කැමැත්තෙන් දුන් මුදලක් හැරෙන්නට ඔවුන්ගෙන් කිසිවක් නොගත් ඔවුන් දෙපල වත්තේ පිටියේ වවාගන්නා දෙයකින් ආහාර සපයා ගත්හ. හාමිනේ ද ඉතා සකසුරුවම්කමින් ජීවත් වීමට එදා සිටම පුරුදුව සිටියාය.
සෑම පසළොස්වක පෝදාකම සිල් ගන්නට පුරුදුව සිටි හාමිනේ සුපුරුදු පරිදි උදෑසනම නැගිට සිය සැමියාට ආහාර ද පිළියෙල කොට සිල් රෙදි හැඳ පැළඳ ගත්තාය.
"ඇහුනද... ඔහේටත් මං කියන්නෙ දැන්වත් පෝයදාට සිල් ගන්න ආවනම් මොකද? කොහෙද ඉතින් වයසට ගිහිනුත් ඔහේගෙ හම්බකිරිල්ලනෙ "
"මං හවස් වෙලා පන්සල පැත්තෙ එන්නම්කො."
"මං යනවා ඕං.... දවාලට කද්දි කෑම රත් කරගෙන කන්ඩ. ඕන්නම් කිරි හොද්දක් හදාගන්ඩ රස්නෙන් කන්ඩ. පොල් කිරි මිරිකපුවා ඇති."
"ඔහේ පන්සල් ගිහින් නිස්කාංසුවෙ සිල් ගන්ටකො. උයලා තියෙන දෙයක් තියෙන හැටියට කන්ඩ බැරුවයැ මට"
දෙන්නා දෙමාල්ලන්ගේ ජීවිත නිදහසේ ගලා ගිය අතර මහලු වයසට එන සුලු සුලු අසනීප මිස ලොකු ලෙඩක් දුකක් තිබුනේ ද නැත. දරුවන් සිව් දෙනා ද දෙමාපියන් බලන්නට ආවේ කලාතුරකිනි. අවශ්‍යම අවස්තාවක ඉස්සරහ ගෙදර නිමලුත් සෝමාත් උදව්වට සිටියහ.
"අද උදේ හංදියට ගිය වෙලේ පොඩි එකා හම්බුනා." විජේරත්න උන්නැහැ කීවේ බුලත් වැලෙන් කඩාගෙන ආ බුලත් මිටි බඳිමිනි."
"පොඩි පුතා කාලෙකින් දැක්කෙ නෑ මං. පුංචි එකාව ටවුමෙ ඉංග්‍රීසි ඉස්කෝලෙට දැම්මලු. ලොකු දුව ගිය මාසෙ ආ වෙලේ කිව්වෙ. ලොකු දුව නම් කිව්වා සල්ලි තියෙනවටයැ නෑනගෙ සෝබන වැඩලු."
"කාලෙ හැටියට තම තමන්ට වුවමනා හැටියට උන්ගෙ ළමයි හදා ගත්තාවෙ හාමිනේ.."
"මැරෙන්ඩ කලියෙන් දරුවො හතර දෙනාවයි පැටව් ටිකයි එකතු කරන් මේ මහ ගෙයි දානයක් දෙන්ට තියේ නම් කියලා නිතරෝම හිත කියනවා"
"මං මැරිච්චදාට ඔහේට බැරියැ දානයක් දෙන්ට"
"මූසල කතා නොකියා ඉන්නවද. මං මැරෙයිද ඔහේ මැරෙයිද කවුද දන්නෙ. ඉන්නා කාලෙ දරුවොත් එක්ක එක්කාසු වෙලා පින් කරගන්ටයි ඕනෙ. ලොකු පුතාටත් මං දවසක් කිව්වා. කාගෙත් උත්තරේ නම් 'බලමුකො අම්මෙ' තමා"
කෙමෙන් කෙමෙන් කාලය ගතවන අතර විජේරත්න උන්නැහේත් හාමිනේත් දවසින් දවස වයසට යමින් සිටියහ. දරුවෝ ද මහගෙදර එන යන වාර ගණන බෙහෙවින්ම අඩු වූයේ ඔවුනොවුන්ගේ රාජකාරිවල කාර්යබහුල වෙමිනි. වත්තෙ පිටියේ වැඩක් කරමින් ද හංදියට ගොස් ඒමෙන් ද උන්නැහේ දවස ගත කළ අතර හාමිනේ නිතරම දරුවන් මතක් කරමින් එදිනෙදා ඉවුම් පිහුම් වල යෙදුනාය.
පාන්දර එළිය වැටීගෙන එන විටම නැගිට කේතලය ලිප තැබූ හාමිනේ හැට්ටයට උඩින් සීතලට පොරවා සිටි චීත්තය අතින් හදමින් උන්නැහේ නිදා සිටින ඉස්තෝප්පු කාමරය දෙසට පිය නැගුවේ වෙනදාට වඩා දැන් උන්නැහේ උදේට නැගිටින්නේ පරක්කු වෙලාබව කල්පනා කරමිනි. උදෙන්ම නැගිට හංදියේ කඩේට යා යුතු බව කියූ බැවින් සැමියාව අවදි කළ යුතු යැයි සිතා ඈ
"අපේ උන්නැහැ එළිවෙලා දැන්. හංදියට යන්ඩත් ඕනෙ කිව්වා නේද?" කියමින් ඔහුව කීද්දුවාය.
පුංචි සද්දයටත් ඉක්මනින් අවදිවන උන්නැහේ නිසොල්මන්ව හිඳින විට ඈ තවත් වරක් බාහුවට තට්ටු කරමින් කතා කළත් ඔහු නොනැගිටින විට සිරුරේ සීතල බවක් දැනී ඈ බියපත් වූවාය. තව තවත් ඔහුව සොලවමින් ඔහුට කතා කළ ඈ බියපත්ව පිටුපසින් පිටුපසට ගොස් මිදුලට ගියේ "සෝමා දුවේ... අනේ විගහට එන්ටකෝ... යැයි අසල්වැසි දියණියට කෑ ගසමිනි.
අහල පහල සියල්ලෝත් මිදුලේ තැනින් තැන රැස්ව සිටි අතර නිමල් ගොස් එක්කන් ආ ගමේ ඩිස්පැන්සරියේ වෛද්‍යතුමා බැරෑරුම් මුහුණින් විජේරත්න උන්නැහේව පරීක්ෂා කර එලියට එන විටත් හාමිනේ ඉකි ගසමින් සෝමාගේ උරහිසට බරවී සිටියාය.
දරුවන් සතර දෙනාද පනිවිඩය ලත් සැනින් මහගෙදරට සේන්දු වූ අතර පියාගේ අවසන් කටයුතු සිදු කිරීමේ ඉදිරි වැඩකටයුතු සිදුකිරීම ඉතිරිව පැවතිනි.
"අම්මේ තාත්තගෙ අයිඩෙන්ටිය හොයලා දෙන්ඩ. ඉතුරු වැඩවලට ගෙනියන්න ඕනෙ." කියමින් ලොකු පුතා කියද්දී හාමිනේ කඳුලු පිසිමින් නැගිට කාමරයට ගොස් ලාච්චුවේ කවරයක දමා තිබූ සැමියාගේ අයිඩෙන්ටි කාර්ඩ් එක රැගෙන දුන්නාය. ඒ සමඟම එහි තිබූ කොල කැබැල්ලක් ඇස ගැටුනු ඈ එය රැගෙන දිග හැර බැලුවේ කුතුහලයෙනි.
හාමිනේ..,
ඔහේ කවදත් ආසාවෙන් හිටියෙ දරු පැටව් එක්කලා මහගෙයි දානයක් දෙන්ටනෙ. හාමිනේට මතක නැතෑ දවසක් මං හාමිනේව එක්ක ගොහින් බැංකු පොතක් හැදුවා හාමිනේගෙ නමට.උදේ හවා ඒ ගැන හිතමින් හාමිනේට දානයක් දෙන්ට එකතු කරපු සල්ලි වගයක් ඒ බැංකු පොතේ තියෙනවා. මං නැතිදාක දරුවන්ට කරදර නොකර දානයක් දෙන්ටයි, හාමිනේගෙ බේත් හේත් වලටයි ඒවා ප්‍රයෝජනේට ගන්ට..,,,
අපැහැදිලි වැල් අකුරින් ලියූ ලියමන කියෙව්වේ සෝමා විසිනි. කවරයේ තිබුනේ හාමිනේට හාංකවිසියක්වත් මතක නොතිබූ ඇගේ නමට තිබූ බැංකු පොතකි
No comments:
Post a Comment