Wednesday, April 29, 2020

නොපිපි කුසුමක්

පිපෙන්නටත් කලින් පරව ගිය මලකි මේ ආදරේ...
__________________________
"සුදු දෝණි... බලන්න මේ සාරිය ලස්සනයි නේද...
කවදාහරි සුදු දෝණි බඳින දාකට මඟුල් සාරිය බාප්පා ගානෙ කියලා මං කිව්වෙ දෝණි චූටි කාලෙමයි..."
ගෑණු ළමෙක් වැඩිපුරම සතුටුවෙන දවස තමයි කසාදෙ දවස. ඒත් මං හිතන්නෙ මගේ මූණෙ හිනාවක්වත් නැද්ද මන්දා.
ලඟට ආපු බාප්පා මගේ ඔලුව අතගාලා එහෙම කියනකොට මට ඇත්තටම හීල්ලුනා. මේ සාරි මන්දීර් එකේ තියන ලස්සනම, මිල වැඩිම සාරිය මගේ ඉස්සරහ තිබුනද කියලා බලන්න මට ඕනකමක් තිබුනෙ නෑ. මගේ ඇස් සාරිය දිහාවට කලින් දිව්වෙ ඈතට වෙලා මං දිහා බලන් ඉන්න එයා ගාවට.
"ඇයි සුදු දෝණි.... මේක ලස්සන නැද්ද...
මෙතන තියන ගාණ වැඩිම මඟුල් සාරිය මේකලු...
සුදු දෝණි කැමති නැත්තම් කියන්න..."
"දෝණි... බාප්පා බලන් ඉන්නවා...
ඉක්මනට කියන්නකො කැමතිද නැද්ද කියලා මේකට...."
ඒ අපෙ අම්මා. අඬන්න බැරි නිසාම ඇස් පිල්ලම් හයියෙන් ගහලා සාරිය දිහා බලපු මං ඔලුව උඩට පහළා කරේ රොබෝ කෙනෙක් වගේ.
"ඒකනෙ කිව්වෙ අයියෙ... සුදු දෝණි මොකට අකමැති වෙන්නද මෙච්චර ලස්සන සාරියකට..."
අම්මා, පුංචි, බාප්පා, රූ නංගි හැමෝම එකතුවෙලා සාරියේ හැඩ බලනවා. මං හිමිහිට ආවෙ තාමත් නිසොල්මනේ මං දිහා බලන් ඉන්න එයා ගාවට.
"සහස් අයියේ...."
ම්හ්... මං කතා කරත් ඒ ඇස් මගේ මූණ පුරා එහෙ මෙහෙ දුවනවා. ඔක්කොම පැත්තක තියලා ඒ පපුවට බරවෙලා අඬන්න ඇත්තම් කියලා හිතුනා. ඒත් කෝ එහෙම අයිතියක්.
"ස්..සහ...ස්... අයි..යේ..."
"මට උඹ එක්ක කතා කරන්න දෙයක් තවත් ඉතුරුද සුද්දි..."
ඒ වචන ටික... මං තවත් මොනවා කියන්නද. මගේ කසාදෙ තව මාසෙකින්. ඉතිං මං මොනා කතා කරන්නද කසදෙට ලෑස්තිවෙනවා ඇරෙන්න.
මං හැමදාම ඒ ඇස් ඉස්සරහ නිහඬයි. ඒත් අද මට ඒ වචන ඉස්සරහ නිහඬ වෙන්න වුනා. ඒ නිසාම බිම බලාගෙනම ආපස්සට හැරුනෙ පෑරිච්ච හිත තවත් පාරගෙන.
"සුද්දී.... උඹට පුලුවන්ද එකම එක පාරක් මේ සහස්ගෙ පපුවට ඔලුව තියාගෙන ඉන්න...."
දෙයියනේ ! කොහොමද එයා මගේ හිත කියෙව්වෙ. ඒ උණුහුමට ගුලිවෙලා එකම එක පාරක් ඉන්න මේ හිත පොරකෑකඅ කියලා කටක් ඇරලා කියන්නෙ කොහොමද මං වෙන කෙනෙක්ට අයිතිවෙන්න ඉද්දිත්.
"සුද්දී.... උඹට පුලුවන්ද..."
මොකද දෙයියනේ මට බැරි. ඒත් කෝ ඒකට අයිතියක්... හයියක්.... මං ආයෙම ඒ ඇස් දිහා බැලුවත් ඒ මූණෙ ඉරියව් හරිම සන්සුන්.
"ස්..සහස්.. අයි..යේ... මේ මං..."
"හ්ම්ම් ඔව් සුද්දි උඹ...
මෙ සහස්ගෙ පපුවෙ මුල්ම ඉඩ උඹට කියලා කාටත් වඩා හොඳටම දන්නෙ උඹමයි සුද්දී...
මිලාන්ගෙ වෙන්න කලින් එකම එක පාරක් මේ පපුවට ඔලුව තියපං එක විනාඩියකට හරි...."
ඒ වචන ඉස්සරහ මං අසරණයි දෙයියනේ. කොහොමද මිලාන්ගෙ වෙන්න ඉන්න මං එහෙම කරන්නෙ. නෑ ඒක වැරදී. ඒත් කොහොමද හිතක් අස්සක ඉබේම ඉපදුන ආදරයක් මෙහෙම අමු අමුවෙ මරලා දාන්නෙ. මට බැලුනෙ අම්මලා ඉන්න දිහා.
"සහස් අයි...."
"ශ්.... කවුරුත් දැක්කෙ නෑ සුද්දී...."
තත්පර ගාණක් කාටත් හොරෙන් ඒ උණුවෙච්ච තොල් මගේ නලලෙ. ඇස් පියාගෙනම ඒ හාදුව වින්දෙ පපුව අස්සෙන් මහා ලෝදිය කන්දරාවක් ගලනවා වගේ දැනෙද්දි.
#සහස්_හේවාතැන්න මං මෙච්චර කාලෙකට දැක්ක හැම අතින්ම සර්ව සම්පූර්ණ පිරිමියා කිව්වොත් හරි. දන්න තේරෙන කාලෙ ඉඳන්ම මලකට වඩා පරිස්සමට මාව පරිස්සමෙන් බලාගත්ත ආරක්ෂකයා ඔයා සහස් අයියේ.
ඒත් ඇයි මමත් #චිතුකි_හේවාතැන්න වුනේ. ඇයි ඔයා මගේ බාප්පාගෙ පුතා වුනේ. එහෙම නොවුනානම් අපි අපේ වෙලා නේද සහස් අයියේ. කොහොමද අපි අපිට අයිති නෑ කියලා දැන දැන ඔයාගෙයි මගෙයි හිත් දෙකේම ආදරයක් ඇතිවුනේ. ඇයි අපි එකිනෙකාට නිහඬවම ආදරේ කරන්න ගත්තෙ.
"සහස් අයියේ... මේ ආදරේ මගේ හිතට මහ ගොඩක් බර වැඩී...
මට දරාගන්න බෑ...
කොහොමද මං මේ බර හිතේ තියාගෙන මිලාන් එක්ක ජීවත් වෙන්නෙ...
මට බෑ එයාට ආදරේ කරන්න...
සහස්ට හිතේ දීපු ඉඩ ආයෙ ගන්න බෑ අයියේ..."
ඉන්නෙ කොතනද කියලා නිනව්වක් නැතුවම මගේ වචන පිට පැන්නෙ ඒ සහස් අයියාගෙ හාදුවේ උණුහුම හිත අස්සෙ කැකෑරෙන දුක එළියට ඇදලා ගත්ත නිසා.
"සුද්දී... උඹව කොහොමද මම වෙන කෙනෙක්ට දෙන්නෙ...
පොඩිකාලෙ ඉඳන්ම උවම පරිස්සමෙන් බලාගත්තෙ වෙන එකෙක්ට අයිතිවෙනවා බලන්න නෙවෙයි....
පපුව රිදෙනවා සුද්දි මගේ..."
ඊට වඩා දහස් ගුණයක් වැඩියෙන් මගේ පපුව රිදෙනවා අයියේ. දෙවියො අපි එක්ක,අපේ හැඟීම් එක්ක කොහොමද මෙහෙම සෙල්ලම් කරන්නෙ. මගේම බාප්පාගෙ පුතා ගැන ආදරයක් ඇයි මගේ හිතේ ඇතිකෙරෙව්වෙ. මෙච්චර දුකක් දැනෙනවා කියලා කලින්ම දැනන් හිටියාන සත්තමයි සහස් අයියේ මං ඔයා දිහා බලන්නෙවත් නෑ.
"සුදු දෝණී... ලොකු පුතා...
මෙහෙ එන්නකො අනේ ටිකක්..."
"අහ්... මේ එනවා අම්මා..."
පුංචි කාලෙ ඉඳන්ම අපි දෙන්නා පණ වගේ එකටමයි හිටියෙ. ඉතිං ඒ සහෝදර බැඳීම ගැන හැමෝටම පුදුමයි. ඒත් දැනුම් තේරුම් කාලෙ එනකොට මොකද්ද මේ වුනේ.
හිතාගන්න බෑ. මෙච්චර කාලයක් හොඳින් හිටියා. සතුටින් හිටියා. ඒත් මගේ කසාදෙ තීන්දු වුන දවසෙ ඇයි මට මහ ගොඩක් දුක හිතුනෙ. ඇයි මගේ සහස් අයියාව මතක් වුනේ.
"සුදු දෝණී ඔක්කොම හරිනේ...
මොනාහරි අඩුපාඩු තිබ්බොත් බලලා කියන්න මට...
මේ බාප්පා මගෙ සුදු දෝණිගෙ මඟුල ගන්නවා ජයටම..."
යාන්තමට මට අවුරුදු පහක් වෙනකොට මගේ තාත්තා මාව මේ ලෝකෙන්ම යන්නම ගියාට පස්සෙ මට තාත්තා වුනේ මගේ බාප්පා. අම්මයි මායි බලාගත්තෙ, ඉන්න තැනක් දුන්නෙ මගේ බාප්පා. ඉතිං කොහොමද මං ඒ හිත රිද්දන්නෙ.
"දෝණී... මෙහෙම්ම රත්තරං බඩු ටිකත් අරගෙනම යමු...
ආයෙ දවසක් නැත්තම් රස්තියාදු වෙන්න ඕනෙ නෑනෙ...
අයියේ එහෙම හොඳයිනේ..."
"ඒක හොඳයි...
ලොකු පුතා... ඔයා සුදු දෝණි එක්ක කාර් එකේ යන්න එහෙනම් එතනට...
මේ පේන්නෙ නැද්ද අම්මා තාම සාරි තෝරනවා...
මං මෙයාලා එක්කගෙන එන්නම්..."
"දෝණී ලොකු අයියා එක්ක පරිස්සමෙන් යන්න...
අපි එනකම් බලන්නකො හදන්න දීපුවා හරිද කියලා...
මොකද අපිට වඩා දෝණිගෙ කැමැත්ත දන්නෙ ලොකු පුතානෙ..."
අම්මා එහෙම කියලා මගේ නලලත් ඉඹලා බාප්පා ගාවට ගියා. මං ඇවිදින මළ මිනියක් ගානට සහස් අයියාගෙ පස්සෙන් ගිහින් කාර් එකට නැග්ගා.
"ස්...සහස් අයියේ...."
ඇස් පියාගෙනම හිටපු මං ඇස් ඇරියෙ කාර් එක නතර කරා කියලා දැනුන නිසා. ඒත් අපි ඉන්නෙ ගෙදර ඉස්සරහ. එතකොට මේ....
"සුද්දී... මට උඹ එක්ක කතා කරන්න ඕනේ...
බයවෙන්න එපා මං තාත්තාට මොකක්හරි කියන්නම්...
මගෙ සුද්දිට මාව විශ්වාසයිනේද..."
විශ්වාසයි... මටත් වඩා විශ්වාස කරන්නෙ මං ඔයාව සහස් අයියේ. මං හිමීට ඔලුව උඩට පහළට කරේ ඔව් කියන්න.
ගේ ඇතුළට ගිහින් සෝෆා එකෙන් ඉඳගත්ත සහස් අයියා නොහිතපු විදියට මාව ඒ ඔඩොක්කුවෙන් වාඩිකරවගත්තෙ පුංචි කාලෙ වගේමයි. මගේ අත් දෙකත් එයාගෙ බෙල්ල වටේ එතුනෙ මටත් නොදැනිමයි.
"සුද්දී... මේ පපුවට ඔලුව තියාගෙන අහං ඉන්න පුලුවන්ද උඹට මං කියන දේ...
පිරිමියෙක් වුනත් මේ දේවල් දරාගන්න බෑ මට...
මගේ ඇස් ඉස්සරහම උඹව වෙන කෙනෙක්ට භාරදෙන්න වෙලා මට මේ අත්වලින්ම..."
ඒ ඇස් මගේ ඇස් අල්ලගෙනම කියනකොට තවත් කොහොමනම් ඉවසන්නද. කලුපාට ශර්ට් එකේ ගැලවිලා තිබ්බ උඩම බොත්තම් දෙක නිසා පේන ඒ පපුවට දෙතොල් තදකරන්ම මං ඔලුව තියාගත්තෙ සහස් අයියා බර හුස්මක් පිට කරද්දි.
"සුද්දී... උඹ මගේ නංගි...
මගේ පණ උඹ සුද්දී...
උඹ ඕනාටත් වඩා දන්නවා උඹට මං අයියා කෙනෙක් වගේම අප්පච්චි කෙනෙක් වුනා කියලා...
මතකද උඹ පොඩිකාලෙ ලොකු අයියා කිය කිය ඉඳලා එකපාරටම අප්පච්චී කියන්න ගත්තාම මට දැනුනෙ උඹ ගැන පුදුම ආදරයක්...
ඒත මං කවදාවත් හිතුවෙ නෑ සුද්දී ඒ ආදරේ මෙච්චර දුරකට යයි කියලා...
උඹව වෙන කෙනෙක්ට දෙන්නෙ බැරි තරම් දුරකට යයි කියලා...
මතලද මිලාන්ව උඹට තීන්දු වුන දවස...
එදා මගෙ පපුව පැලෙන්න තරම් රිදුනා සුද්දී...
කවදාවත් කෙල්ලෙක් ගැන මට කැමැත්තක් ඇති නොවෙන්න උඹත් හේතුවක් වෙන්න ඇති...
ඒත් එදා දවසම මං කල්පනා කරා ඇයි උඹේ කසාදෙ තීන්දු වුනාම මට මෙච්චර රිදෙන්නෙ කියලා...
උඹේ අයියා විදියට මගේ වගකීමක් කවදාහරි උඹව හොඳ එකෙක්ට බන්දලා දෙන එන...
ඒ දවස එනකන් මාත් හීන දැක්කා...
ඒත් ඒ දවස උදාවුනාම මට ගොඩක් රිදුනා...
කියාගන්න බැරි තරම් රිදුනා..."
කිසිම සද්දක් නැතුවම ඒ පපුවට බරවෙලා ඒ වචන අහන් ඉන්නකොට කඳුලු එකදිගට ඒ පපුව දිගේ ගලාගෙන යනවා. නතරකරන්නවත් මට පුලුවන්කමක් නෑ. මෙච්චර ආදරයක් මට කාගෙන්වත් ලැබිලා නෑ. ආයෙ කවමදාකවත් ලැබෙන්නෙත් නෑ. ඒත් සහස් හේවාතැන්නගෙ නංගි චිතුකි හේවාතැන්න වෙච්ච මං කොහොමද ඔයාගෙ බිරිඳ වෙන්නෙ. කවදාවත් සම්මතේට පිටුපාලා ඒ දේ කරන්න බෑ. ඒක වෙන්නෙත් නෑ.
"සහස් අයියේ....
මට ඔයාගෙ වෙන්න පින නෑ...
ඔයා තරම් මට... මට ආදරේ කරන කෙනෙක් කවදාවත් මට ලැබෙන්නෙ නෑ සහස් අයියේ....
ඔයා වගේම මටත් හිතාගන්න පුලුවන් වුනේ නෑ මෙච්චර කාලෙකට මං ඔයාට මේ විදියට ආදරෙයි කියලා...
මිලාන් එක්ක කසාදෙ තීන්දු වුනාම මට මතක් වුනේ ඔයාව විතරමයි අප්පච්චී..."
"සුද්දී... ආයෙ එක පාරක් කියපං..."
"අප්පච්චී... මේ සුද්දිත් ඔයාට ගොඩාරියක් ආදරෙයි...
ඔයාව ලැබුනෙ නැතිවුනත්...."
උරහිස් වලින් අල්ලලා මාව ඒ පපුවෙන් ඈත්කරපු සහස් අයියා මගේ මූණ ඒ අත් දෙකෙන්ම අල්ලගෙන කොච්චර වෙලාවක් බලන් හිටියද කියලා මම දන්නෙත් නෑ. මොකද මාත් ඒ ඇස් අස්සෙ අතරමං වෙලා.
"පළවෙනි වතාවට වගේම අන්තිම වතාවට..."
මගේ ඇස් දිහා බලාගෙනම සහස් අයියා එහෙම කියනකොට මං නලල රැලිකරලා බැලුවෙ මොකද්ද ඒකෙ තේරුම කියලා.
"අප්පච්...."
හරි පරිස්සමට සහස් අයියා මගේ දෙතොල් එයාගෙ කරගත්තා. පළවෙනි වතාවට මගේ තොල් ඉඳුල් වුනා. ඒකත් සහස් අයියාගෙ අතින්ම. සියුම්ව පටන්ගත්ත ඒ සිපගැනීම මගෙ තොල් රිදෙන තරම් රළු වුනේ ඒ හිතේ තියන, හංගන් ඉන්න පීඩනය නිසාම වෙන්න ඇති.
"සමාවෙන්න සුද්දී මට...
මං රිද්දුවද ගොඩක් ම්හ්..."
නෑ කියන්න මං ඔලුව වැනුවා. මහපට ඇඟිල්ලල මගේ තොල්වට එහෙට මෙහෙට යවන ගමන් එයා අහනවා.
"සුද්දී... ඇයි මේ...."
මං අඬාගෙනම කඩන් වැටුනෙ ඒ පපුවට. දරාගන්නෙ කොහොමද මේ දේවල්. හිත සහස් අයියා ගාව තියලා මං මිලාන් ලඟට යන්නෙ කොහොමද දෙවියනේ.
මං වැරදිද... සහස් අයියා වැරදිද... නෑ නේද.. මොකද හිත කෙනෙක්ට ආදරේ කරන්න ගන්නෙ කුල මල ජාති ආගම් බේද කලු සුදු බේද සම්මතේ අසම්මතේ බල බලවත් නෙවෙයිනෙ.
"මේ දේවල් දරාගන්න මට හයියක් නෑ සහස් අයියේ...
මගෙ අප්පචිව දාලා මට මිලාන්ගෙ වෙන්න බෑ...
ඒත් එහෙම නොකරත් බෑ.."
ඉතිං මේ මගේ ආදරේ.. නෑ අපේ ආදරේ... හරියටම #නොපිපි_කුසුමක් වගේ
"සුදු දෝණි... අද හරිම ලස්සනයි මගේ කෙල්ල...
ඇස්වහක්නම් වදින්න එපා..."
උදා නොවෙන්න කියලා පතපු දවස උදාවුනා. මටවත් සහස් අයියාටවත් මේ දේවල් නතර කරන්න බෑ. මට කොහොමවත්ම බෑ. අම්මාගෙ බාප්පාගෙ බලාපොරොත්තු කඩලා දාන්න බෑ. පොඩිකාලෙ ඉඳලා මාව බලාගෙන උස්මහත් කරපු එයාලාට දුකක් දෙන්න බෑ.
පෝරුව උඩ චාරිත්‍ර වෙනවා. මං මේ ලෝකෙ නෙවෙයි වගේ හිටියෙ. ඒ ඇස් මගේ ඇස් ඉස්සරහම ඉඳන් හරි ලස්සනට මං දිහා බලාගෙන ඉන්නවා. දුකක්ද සතුටක්ද කියලා හිතාගන්න බෑ. ඒ ඇස් එක තත්පරේකටවත් මගෙන් අයින්වුනේ නෑ.
"හරි දැන් බහින්න සුදු දෝණී..."
මං පියවි සිහියට ආවෙ බාප්පාගෙ කටහඬට. චාරිත්‍ර ඔක්කොම ඉවර වෙනකන්ම මගේ ඇස් තිබුනෙත් නිහඬව හැමදේම දිහා බලන් ඉන්න සහස් අයියා ගාව. මෙච්චර වෙලා හැමෝටම පේන්න හිනාවෙලා ඇස්වල කඳුලු හංගගෙන හිතෙන් කොච්චරනම් ඇඬුවද කියලා දන්නෙ මමම විතරයි.
"මිලාන්... මගේ කෙල්ලව ඇහැක් වගේ බලාගනිං...
උඹට අද සුද්දිව භාරදෙනකන් මං ඇස්දෙක වගේ බලාගත්තා...
ඒත් අද ඉඳන් ඒ අයිතිය මං උඹට දෙනවා...
පුංචිමවත් දුකක් දෙන්න එපා මගේ කෙල්ලට...
සුද්දිගෙ ඇස්වලට කඳුලු ගැලපෙන්නෙ නෑ බං...
මොනම හේතුවක් නිසාහරි සුද්දිව තනිකරන්න එපා...
උඹට එහෙම කරන්නම වුනොත් දෙපාරක් නොහිත මගේ කෙල්ලව මං ගාවට ගෙනත් දීපං..."
යන්න පිටත්වෙලා සහස් අයියා මිලාන්ට ඒ කියපු වචන ටික මට දැනුනෙ පපුවට පිහි තුඩකින් අනිනවා වගේ. තවත්නම් කඳුලු ඇස් අස්සෙ හංගගෙන ඉන්න බෑ.
ඒ ඉනවටේ අත්දෙක යවලා ඒ පපුවට බරවුනේ ඉකි ගගහාමයි. ඒ හයිය අත්ගොබවලින් මාව තවත් ඒ පපුවටම තද කරගත්තෙ ඇයි කියන්න මං දන්නවා වුනත් දකින කවුරුත් හිතන්නෙ නෑ මෙතන සහෝදරකමට එහා ගිය බැඳීමක් ඇතී කියලා.
"මගෙ මැණික...
හිතකින් නෙවෙයි මං උඹව දෙන්නෙ...
පරිස්සමෙන් ඉඳපං සුද්දී...
කොතනකදිම හරි උඹ තනී කියලා දැනුනොත් මතක් කරගනිං උඹේ සහස් අයියා උඹ වෙනුවෙන්ම මේ ජීවිතකාලෙම ඉන්නවා කියලා...
හොයාගෙම වරෙං මාව ඒ තප්පරේම...
මං ඉන්නවා උඹට..."
රහසින් වගේ මාව තුරුල් කරන්ම කියලා මගේ හිස්මුදුන ඉඹගෙන තත්පරගානක් ඉන්න ඇති.
ඉතිං පිපෙන්නවත් නොදීම මේ මල පරවෙලා ගියා වගේ...
අපේ ආදරෙත් හරියටම #නොපිපි_කුසුමක් වගේ...
මේ ආත්මෙ නැතත් ලබන ආත්මෙකදි ඔයාගෙම වෙන්න කියලා ප්රාර්ථනා කරනවා...
හිතකින් නෙවෙයි මාත් මගේ අයිතිය වෙන කෙනෙක්ට දෙන්නෙ...
.
.
.
සෙනූ


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...