Friday, April 24, 2020

හාල් කෑල්ල - (9 සිට 12 දක්වා කොටස්)

හාල් කෑල්ල (09 කොටස)
"ආපහු එන්න හැරෙද්දි තමයි කලන්තයක් වගෙ ආවෙ. හිටපු ගමන් ෂුගර් අඩු වුනාම තමයි මට මෙහෙම වෙන්නෙ"
"ම්ම්ම්, දැන් ප්රශ්නයක් නෑනෙ ආන්ටි. නගින්න ත්රීවීල් එකට. අපි ගිහින් දාන්නම්."
"අනේ දරුවො ඔයාලට කරදරේනෙ. මගේ ගෙවල් තියෙන්නේ මේ පාරෙ නෙවෙයි. මේ හරියෙ ඉඳන් ටිකක් දුරයි. ආපහු හරවගෙන යන්න වෙනවනෙ"
"ඒකට කමක් නෑ ආන්ටි. අපි ගිහින් දාන්නම්. නගින්නකො"
පැහැදිගෙ බලකිරීම නිසා එම කාන්තාව ත්රීවීල් එකට නැග්ගා.
"ආන්ටි ලඟ ක්ලිනික් පොත තියෙනවද?"
"ඔව් දුව තියෙනවා"
"එහෙනම් අපි ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්ම යමු නේද? ඒක කෝකටත් හොඳයිනෙ"
"අනේ දුව. මම ගෙදර ගිහින් ඇවිත් බෙහෙත් ගන්න යන්නම්. දැන්නම් මගෙ අතේ සල්ලි තියෙන්නේ ත්රීවීල් එකට දෙන්න විතරයි. බෑන්ක් එකට ගියෙ සල්ලි ඩිපොසිට් කරන්නනෙ."
"අයියෝ... ආන්ටි, කවුද සල්ලි ඉල්ලුවෙ"
පැහැදි එම කාන්තාවට ඩිස්පෙන්සරි එකකට එක්කරගෙන ගිහින් බෙහෙත් අරන් දුන්නෙත් එපා කියද්දිමයි. පැහැදි ලා එම කාන්තාව ඇගේ ගෙදරටම එක්කරගෙන ආවා. තාප්පයකින් වට වුනු, කළු පාට විශාල ගේට්ටුවක් තියෙන නවීන පන්නයේ දෙමහල් නිවසක්. හයිබ්රිඩ් වර්ගයේ කාර් එකකුත් ගේ ඉස්සරහා නතර කරලා තිබුනා.
"දුව, මෙච්චර උදව් කරපු එකේ අැතුලට ගිහින් තේ එකක් එහෙම බීලම යමු"
"ම්ම්ම්, දැන් රෑ වෙන්නත් එනවනෙ ආන්ටි. අපි ෂුවර් එකටම වෙන දවසක එන්නම්. දැන් ගේ තියෙන තැනත් දන්නවනෙ."
පැහැදි එම ඉල්ලීම කාරුණිකව ප්රතික්ෂේප කලේ ගෙදර යන්න තවත් රෑ වෙන නිසා. එම කාන්තාව නිවසට ගොස් බෙහෙත් වල හා ත්රීවීල් එකට සල්ලි ගෙනත් දෙන්න හැදුවත් පැහැදි සහ තාත්තා තරයේම ඒක ප්රතික්ෂේප කරපු නිසා ඇය බල කරන්න ගියේ නෑ. එම කාන්තාව පැහැදි ගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගන්න නම් අමතක කලේ නෑ.
"හරීම කරුණාවන්ත, ගුණයහපත් දරුවෙක්. ලොකුවට සල්ලි බාගෙ නැති වුනාට හරි වැදගත් පවුලක් වගේ"
පැහැදි ලා යන ත්රීවීල් එක දෙස බලාගෙන ඇය කල්පනා කලේ එහෙමයි.
ඇය නිල්මිණී. ගුරු උපදේශකවරියක්. ඇගේ ස්වාමිපුරුෂයා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක්. පැහැදිට ලට නම් ඒ තරමට සමාජ තත්ත්වයක් තිබුනෙ නෑ. පැහැදි ගෙ තාත්තට කඩයක් තියෙනවා. අම්මා ගෘහණියක්.ඒ වුනත් එදා වුන සිදුවීමෙන් පස්සෙ නිල්මිණී ආන්ටිගෙ හිතේ පැහැදි ගැන ලොකු පැහැදීමක් ඇති වුනා. නිතරම ෆෝන් එකෙන් කතා කලා. එයාලගෙ ගෙදර ඇවිත් යන්න එන්න කියලා බල කලා.ඒත් පැහැදි කැම්පස් එකේ වැඩත් එක්ක බිසී වුන නිසා ගොඩක් කාලයක් යනකම් එහේ යන්න බැරි වුනා.නිවාඩු දවසක් බලලා පැහැදි කල්පනා කලේ නිල්මිණී ආන්ටිලගෙ ගෙදර ගිහින් එන්න.
"හෙලෝ ආන්ටි"
"ආහ් හෙලෝ... දුව, කොහොමද ඉතින්"
"හොඳයි ආන්ටි, අදනම් ඔන්න මට නිවාඩු.අපි මේ ආන්ටිලගෙ ගෙදර එන්න කියලා බැලුවේ.ආන්ටි ගෙදර ඉන්නවා නේද?"
"අනේ කොච්චර දෙයක්ද දුව. මම දැන්නම් සුපර් මාර්කට් එකේ ඉන්නෙ.අන්කලුත් ගෙදර නෑ. මම ටක් ගාලා ගෙදර යන්නම් එහෙනම්. ඔයාලා එන්නකො.අපේ පුතාටත් අද නිවාඩු.කොහෙද ඉතින් මේ යාළුවෙක්ගෙ ගෙදර යනවා කිව්වානෙ."

හාල් කෑල්ල (10 කොටස)
"අනේ... අපි හින්දා ආන්ටිටත් හරි කරදරේ නේද?"
"අනේ... ඉතින්, පිස්සු කතා කරන්න එපා ළමයො. මං මේ මාස ගාණක ඉඳන් පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නෙ ඔයා එන්නෙ කවදද කියලා"
නිල්මිණීගෙ නිවසට ආපු පැහැදි, අම්මා, තාත්තා නිල්මිණී විසින් පිළිගත්තෙ හරි සුහදව. පැහැදි ගෙ අම්මගෙ අතින්ම හදපු රසම රස පැණි වළලු පාර්සලයක් නිල්මිණී ට තෑගි වශයෙන් ගෙනවා. තේ එහෙම බීලා කට්ටිය සුහදව කතා බහ කර කර හිටියා.
"දුව කොළඹ කැම්පස් එකේ කිව්වා නේද? මොකක්ද දුව ඩිග්රිය කරන්නෙ?"
"ලිට්රිජර් ස්පෙෂල් ඩිග්රියක් ආන්ටි"
"ලිට්රිජර් ස්පෙෂල්. අම්මෝ... ගොඩක් අමාරු සබ්ජෙක්ට් එකක්නෙ"
නිල්මිණී එහෙම කිව්වේ පුදුමයෙන්.
"මෙයානම් ගොඩක්ම දක්ෂයි ඒ සබ්ජෙක්ට් එකට"
පැහැදි ගෙ අම්මා එහෙම කිව්වේ තමන්ගේ දරුවා ගැන උපන් නිහතමානී ආඩම්බරයෙන්.
"හොඳයි දුව, ගොඩක් වටින සබ්ජෙක්ට් එකක්. මහන්සි වෙලා කරගන්න."
නිල්මිණී කිව්වේ පැහැදි ගැන උපන් සැබෑම ස්නේහයෙන්. පැහැදි සුහද හිනාවකින් ඇය කියපු දේ අනුමත කලා.
"දුවට දැන් වයස කීයද?"
"24යි ආන්ටි. මේ කැම්පස් එකේ last year එක"
"අපේ පුතාටත් දැන් 26ක් වෙනවා. එයත් private campus එකක degree එක කරලා දැන් private company එකක job එකක් කරනවා. මැරි කරන්න ගෑණු ළමයෙක් හොයනවා මේ දවස් වල. අපිට ඉන්න එකම දරුවනෙ. හොඳ ගුණයහපත් ගැණු දරුවෙක් හොයලා බන්දලා දෙන්න ඕන"
නිල්මිණී වටෙන් ගොඩෙන් කියපු කාරණාව පැහැදිලට නොතේරුනා නෙවෙයි. නිල්මිණී දහවල් කෑමටත් ඉන්න කියලා ආරාධනා කලත් පැහැදිලා එම ඉල්ලීම කාරුණිකව ප්රතික්ෂේප කලේ මල්ලි Clz ඇරිලා එන වෙලාවට ගෙදර යන්න ඕන නිසා.
"ආහ්... පුතා, ඔයා ගෙදරද හිටියෙ? යාළුවෙක්ගෙ ගෙදර යනවා කිව්වා නේද?"
නිල්මිණී එහෙම කිව්වේ පැහැදිලා ගියාට පස්සෙ පඩිපෙළ බැහැගෙන පහළ තට්ටුවට එන තම පුතා දිහා බලාගෙන.
"ඔව් අම්මා, ආයෙ කම්මැළි හිතිලා මං කාමරේට වෙලා නිදාගත්තා. මේ දවස් ටිකේම බිසීනෙ."
"පුතා තව පොඩ්ඩකට කලින් පහලට ආවා නම් අර දරුවව හම්බවෙන්න තිබුනනනෙ. අම්මයි තාත්තයි එක්ක අද මෙහෙ ආවා."
"මං එයාලව දැක්කා අම්මා, මං උඩ ඉඳන් බලාගෙන හිටියෙ"
"අපෝ කපටියා" නිල්මිණී පුතාට බොරු නෝක්කාඩුවකින් එහෙම කිව්වා.
"හොඳට ඉගෙනගන්න ළමයෙක් පුතේ. කොළඹ කැම්පස් එකේ ලිට්රිජර් ස්පෙෂල් ඩිග්රි එකක්ලු කරන්නෙ. අවුරුදු 24ක් කිව්වා. දැන් කැම්පස් එකේ last year එකලු. ලොකුවට සල්ලි එහෙම නැති වුනාට හරි වැදගත් පවුලක්. කෙල්ලත් ලස්සනයි. අනෙක හරීම කරුණාවන්ත, ගුණයහපත් දරුවෙක්. මම පුතාට කිව්වනෙ. එදා කලන්තෙ දාලා හිටපු දවසෙ මට යාන්තමට මතකයි වාහන දෙක තුනක්ම එතනින් ගියා. මං මැරිලද කියලවත් එකෙක් බැලුවෙ නෑ. මේ මිනිස්සු මට කොච්චර උදව් කලාද එදා. එච්චර කරලත් අපෙන් එක රුපියලක් කඩාවඩා ගන්න බැලුවේ නෑනෙ. වෙන මිනිස්සු නම් ටිකක් සල්ලි තියෙනවා කියලා දැන ගත්තම පුළුවන් තරම් කඩා ගන්නනෙ බලන්නෙ. අපෙන් කිසිම වාසියක් බලාපොරොත්තු වුනේ නෑ. අද වුනත් ඔය අපේ ගෙදර ආවෙ මගේ බලකිරීමට."

හාල් කෑල්ල (11 කොටස)
"ම්ම්ම් ඒකනෙ, හරිම හොඳ කට්ටියක් නේද අම්මා"
"අනේ ඔව් පුතා, හරීම හොඳ පවුලක්. මම ඒ ගෑණු ළමයා ගැනත් හොයලා බැලුවා. ඒ හැටි දුරක නෙවෙයිනෙ ඉන්නෙ. මේ කොළඹ අවටමනෙ. කියන්න තරම් කිසිම වරදක් නෑ පුතා. හරිම හොඳ දරුවෙක්. දැන් පුතාටත් 26ක්නෙ. කලවයසත් හරි එකේ... මම බැලුවේ ඒ ගෑණු ළමයව පුතාට ප්රපෝස් කරන්න. පුතා මොකද කියන්නේ?
නිල්මිණී තමන්ගේ පුතාගෙන් ඇහුවෙ බලාපොරොත්තු දැල්වෙන මුහුණින්?
"හ්ම්ම්, අම්මා මට කවදාවත් වැරැද්දක් වෙන්න ඉඩ තියෙන්නේ නෑනෙ. අම්මා කැමති නම් මගේ කිසි අකමැත්තක් නෑ අම්මා. මමත් කැමතියි"
තමන්ගේ පුතා තම අදහසට එක පයින්ම කැමති වුන එක ගැන නිල්මිණීට දැනුනෙ නිම්හිම් නැති සතුටක්. ඇය දන්නවා තමන්ගේ පුතා නොගැලපෙන සම්බන්ධතා කිහිපයකම පැටලිලා හිටියත් දැන්නම් ඒ හැමදේකින්ම මිදිලා පාඩුවේ ඉන්න බව.
"එහෙනම් අපි තාත්තටත් කියලා ළඟදිම දවසක ඒ ගෑණු ළමයගෙ ගෙදර ගිහින් අහමු නේද පුතේ?"
"හ්ම් හ්ම්, අම්මගෙ කැමැත්තක්"
එදා පැහැදි ගෙදර ගියේ බස් එකේ. තාත්තට එන්න වෙන්නෙ නෑ කියලා කෝල් එකක් දුන්නා. කෙල්ල ගෙදර යනකොට නිල්මිණී ආන්ටියි එයාගෙ හස්බන්ඩ් කියලා හිතන්න පුළුවන් කෙනෙකුයි ඇවිත් හිටියා. ඒ දෙන්නා මිදුලෙ ඉඳන් පැහැදිගෙ අම්මයි තාත්තයි එක්ක කතා කර හිටියෙ. පැහැදි කවදාවත් නිල්මිණී ආන්ටිගෙ හස්බන්ඩ් වත්, පුතාවත් දැකලා තිබුනෙ නෑ.
"හලෝ... දුව, නිල්මි, මෙයාද අර කියපු දුව"
"ඔව් ඔව් ලසන්ත, මෙයා තමයි"
ඒ දෙන්නා හිනාවෙවී පැහැදි දිහා බලාගෙන හිටියෙ හරි ආදරයෙන්. කෙල්ලටත් හරිම සතුටුයි. පැහැදි ඉක්මනට ගිහින් ආන්ටිටයි, අංකල්ටයි දණ ගහලා වැන්දා. කොළඹ හැදුනට කෙල්ලට සංකර ගති ලක්ෂණ පිහිටලා තිබුනෙ නෑ.ඒ නිසා ලසන්තගෙයි නිල්මිණීගෙයි හිතේ පැහැදි ගැන තියෙන පැහැදීම තව තවත් වැඩි වුනා.
"ආන්ටිලා ඇවිත් ගොඩක් වෙලාද? මට කෝල් එකක්වත් දුන්නෙ නෑනෙ අද එනවා කියලා."
"ම්ම්ම්, අපි ඇවිත් දැන් පැයක් විතර වෙනවා.තේ එහෙම බීලා මේ එළියට වෙලා හිටියෙ දුව එන්නෙ මේ වෙලාවට කියලා අම්මා කියපු නිසා.ඔයාට කෝල් කලේ නැතුවට අපි අම්මට කෝල් කරලා කිව්වා අද එනවා කියලා.අපි ඔයාට නොකියම ආවෙ ඔයාව සප්රයිස් කරන්න"
නිල්මිණී හිනාවෙවී පැහැදි ගෙ ඔලුවත් අතගගා කතා කලේ හරිම ආදරෙන්.
"අපි දෙන්නා විතරක් නෙවෙයි. අද තවත් අමුත්තෙක් ආවා අපිත් එක්ක"
ඒ නිල්මිණී ගෙ හස්බන්ඩ් ලසන්ත.
"කවුද අංකල්?"
පැහැදි ඇහුවෙ කුතුහලයෙන්.
"දුව අපේ පුතාවත් දැකලා නෑ නේද? එයත් ආවා අපිත් එක්ක.අන්න සාලෙට වෙලා ඔයාලගෙ මල්ලිත් එක්ක ගේම් ගහනවා.ඉන්නකො මං කතා කරන්න. පුතා... පුතා... පොඩ්ඩකට එළියට එන්නකො. මේ නංගි ආවා."
නිල්මිණී කතා කරපුවම සාලෙ ඉඳන් එළියට ආපු කෙනා දැකලා පැහැදි ගෙ ඇස් උඩ ගියේ කෙල්ල පුදුමයෙන් හොල්මන් වෙද්දි.
"මොකක්, දසන් අයියා. එතකොට මෙයාද නිල්මිණී ආන්ටිගෙ පුතා"

හාල් කෑල්ල (12 කොටස)
කෙල්ල ඒ විදියට හිතුවෙ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව තාමත් ගල් ගැහිලා බලා ඉන්න ගමන්. දසන් නම් කට පුරා පැහැදි එක්ක හරිම සුහදව හිනා වුනා. පැහැදිට නම් හිනා වෙන්නත් අමතකයි. කෙල්ලත් පස්සෙ යාන්තමට හිනා වුනා.
"දැන් දුවත් ආපු එකේ මොකද මේ කට්ටියම එළියට වෙලා. යමු ඇතුලට"
පැහැදිගෙ තාත්තා එහෙම කියපුවම හැමෝම ආයෙත් සාලෙට ගිහින් වාඩි වුනා. දසන් කෙල්ල එක්ක කොච්චර කතා කරන්න උත්සාහ කලත් පැහැදි හරිම සූක්ෂම විදියට කොල්ලා ව මඟ ඇරලා නිල්මිණී සහ ලසන්ත එක්ක විතරක් කතා කලා. කට්ටිය ටික වෙලාවක් යනකන් සුහද කතාබහක යෙදුනට පස්සෙ නිල්මිණී තමන්ලා ආපු කාරණාව ගැන කියන්න මුල් වුනා.
"දුව, අපි මේ දුවලගෙ ගෙදර ආවෙ වැදගත් කාරණයක් ගැන කතාකරගන්න. දුවගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි නම් අපි මේ ගැන ඇහුවා. ඒත් ඉතින්... දුවගෙන් අහන එක තමයි ඔක්කොටම වඩා වටින්නෙ"
"මොකක්ද ආන්ටි?"
"මේ... දුව දැන් අපේම දරුවෙක් වගේ අපිට සමීපයි. අන්කලුයි මායි දුව ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ. දුවගෙ තියෙන හොඳ ගතිගුණ නිසා. ඉතින්.... අපි මේ බැලුවේ දුවව අපේ ලේලි කරගන්න."
නිල්මිණී පැහැදි දිහා බලාගෙන ඒ ටික කිව්වේ හරි ආදරයෙන්. ලසන්තත් මූණෙ හිනාවක් රඳවගෙන පැහැදි දිහා බලාගෙන හිටියා. දසන් නම් යටැසින් කෙල්ල දිහා බලාගෙන හිටියෙ කෙල්ලගෙ මූණෙ ඇඳෙන ඉරියව් නිරීක්ෂණය කරන්න.
මිල මුදල් දේපොළ වලින් අඩුපාඩුවක් නැති, වැදගත් රැකියා කරන, වැදගත් පවුලක, මනුස්සකම උතුරන්න තියෙන කරුණාවන්ත දෙමව්පියන්ගෙ එකම පුතාට තමන්ගේ දුව විවාහා කරලා දෙන්න පැහැදිගෙ දෙමව්පියන්ගෙ කිසිම අකමැත්තක් තිබුනෙ නෑ.
"අපි දුවට කිසිම බලපෑමක් කරන්නෙ නෑ. ඔයා තාම ඉගෙනගන්න ළමයෙක්නෙ. අපි දැන්ම මැරි කරන්න කියලා හදිසි කරන්නෙ නෑ. දෙන්නටම තාම වයස තියෙනවානෙ. දෙන්නම හොඳට ආශ්‍රය කරලා බලලා, හොඳට අඳුරගෙන, නොගැලපීම් තියෙනවනම් ඒවත් හරි ගස්සගෙන තව අවුරුදු දෙක තුනකින් මේ කටයුතු පිළිවෙලක් කරන්න බැරියැ. කළබලයක් නෑ. දුව හොඳට හිතලා බලලා තීරණයක් ගන්නකො"
ලසන්තත් ඒ දේවල් කෙල්ලට තේරුම් කරලා දුන්නෙ හරි කරුණාවෙන්.
"අපිට ඉන්න එකම දරුවනෙ දුව. ඉතින් ආවට ගියාට කසාඳ බන්දලා දෙන්න බෑනෙ. ඒකයි අපි මේ හොඳම තැනකින් හොඳම කෙල්ලෙක් තෝර ගත්තේ"
නිල්මිණී ඒ ටික කිව්වෙ පැහැදි හා දසන් දිහා මාරුවෙන් මාරුවට බලන ගමන්. දසන්ගෙ හිතේ නම් පැහැදි ගැන මුල ඉඳන්ම මනාපයක් තිබුනත් කෙල්ල දසන්ට ආඩම්බරයකම් පෙන්නපු නිසා ඒක ඉරිසියාවක් හා තරහක් බවට පෙරලුනා. දසන්ගෙ පපුව දැන් ගැහෙන වේගය වැඩියි. කෙල්ලගෙ උත්තරේ මොකක් වෙයිද කියලා කොල්ලගෙ හිත හරිම නොසන්සුන්. කාලයක් තිස්සේ තමන් හීන මැවුවා පැහැදිගෙ වගේ කොලිෆිකේෂන්ස් තියෙන කෙල්ලෙක් තමන්ගේ බිරිඳ කරගන්න. දැන් ඒ චාන්ස් එක අතටම ලැබිලා තියෙද්දිත් ගිලිහෙයිද කියලා කොල්ලගෙ හිතට දැනුනෙ පුදුමාකාර බයක්. මොකද අද කාලෙ පැහැදි වගේ කෙල්ලෙක් හොයනවට වඩා ලේසියි කළුනික හොයාගන්න එක.



No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...