Friday, April 24, 2020

හාල් කෑල්ල - (13 සිට අවසාන කොටස දක්වා)

හාල් කෑල්ල (13 කොටස)
නිල්මිණී ලා වටින් ගොඩින් ආපු කාරණාව මේක තමයි කියලා පැහැදිට තේරුම් ගිහිල්ලා ගොඩක් කල්. ඒත් එයාලගෙ පුතා දසන් කියලා නම් පැහැදි හීනෙකින්වත් හිතුවෙ නෑ.
ටික වේලාවක් නිහඬව හිටපු පැහැදි,
"ආන්ටි, මට boyfriend කෙනෙක් ඉන්නවනෙ"
කියලා සෘජුවම කිව්වේ හැමෝගෙම බලාපොරොත්තු සුනුවිසුනු කරමින්. නිල්මිණීගෙ, ලසන්තගෙ හැමෝටම වඩා දසන්ගෙ මූණ අඳුරු වෙලා ගියෙ බලාගෙන ඉද්දි. පැහැදි ගෙ අම්මයි තාත්තයි මූණෙන් මූණ බලාගත්තෙ ඔවුන් දැනුවත්ව පැහැදිට කිසිම පෙම්වතෙක් හිටපු නැති නිසා. පැහැදි කවදාවත් ඒ වගේ දෙයක් ගෙදරට නොකියා කරන්නෙ නැති බව එයාලා දැනගෙන හිටියා. ඒත් පිට මිනිස්සු ඉස්සරහා එයාලට ඒ දේවල් ගැන හාරවුස්සලා අහන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. හැමෝම මේ වෙලාවෙ ගොඩක් අපහසුතාවයට පත් වෙලා හිටියෙ පැහැදි කියපු කතාව නිසා.
"හ්ම්ම්ම්, එහෙමද දුව, මොනා කරන්නද ඉතින්. එහෙනම් අපි පරක්කු වැඩියි නේද"
දීර්ඝ සුසුමක් හෙලපු නිල්මිණී එහෙම කිව්වේ බලාපොරොත්තු සුන් වුන හිතේ වේදනාවෙන්.
"කමක් නෑ කමක් නෑ, මොනා කරන්නද ඉතින්. දුවගෙ තේරීමනෙ. දුවගෙ අනාගතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි සුභ පතනවා. Wedding එකට අපිටත් Invite කරන්නකො. ම්ම්ම්"
ලසන්තත් කිසිම අමනාපයක් නැතුව පැහැදි ට සුභ පැතුවෙ හදවතින්මයි.
"ආයෙ නම් අපිට කවදාවත් දුව වගේ ගෑණු ළමයෙක් නම් හොයාගන්න බැරි වෙයි. මොනා කරන්නද ඉතින්. අපි පිං කරලා මදි ඇති"
නිල්මිණී කිව්වේ ලොකූ හිත් වේදනාවෙන්.
"අනේ එහෙම කියන්න එපා ආන්ටි, අයියට හොඳ ගෑණු ළමයෙක් හම්බ වෙයි.
පැහැදි කිව්වේ නිල්මිණී ගැන උපන් සැබෑම අනුකම්පාවෙන්.
මේ අතරතුර දසන් හිටියෙ හැමෝටම වඩා සිත්වේදනාවෙන්. තමන්ට හිමි වීමට තිබූ අනර්ඝ වස්තුවක් අහිමි වුනාම දැනෙන පාළු මූසල වේදනාවක හැඟීම ඔහුගේ හිතට දැඩිව වද දුන්නා.
තුන් දෙනාම පැහැදිලගෙ ගෙදරින් පිට වෙලා ගියේ බලාපොරොත්තු සුන් වීමෙන් හටගත් දැඩි හිත් වේදනාවෙන්.
"ඇයි පුතේ ඔයා අර මිනිස්සුන්ට අච්චර ලොකු බොරුවක් කිව්වෙ? එයාලට මොනවයින් අඩුවක්ද, කොච්චර වැදගත් පවුලක්ද, අනෙක ඒ මිනිස්සු කොච්චර හොඳද, ඔයාට පණ ඇරලා. තමන්ගෙම දුවෙකුට වගේ සලකයි. හරි හිතේ අමාරුවෙන් ගියේ"
අම්මා පැහැදිට දොස් කිව්වේ නෝක්කාඩුවෙන්. තාත්තාත් හිටියෙ කෙල්ල ගැන හිත් අමනාපයෙන්.
"නිල්මිණී ආන්ටිලා නම් ගොඩක් හොඳ බව ඇත්ත අම්මා. ඒත් ඒ කොල්ලා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. මම A/L වලට clz යන කාලෙ ඉඳන් එයාව දන්නවා. ඒත් එයා නිල්මිණී ආන්ටිගෙ පුතා කියලා මම දන්නෙත් අද. 2nd shy exam ලියන්න අපේ ලිට් clz එකට ආවා. ඒ කාලෙත් ගොඩක් කෙල්ලො එක්ක යාළු වෙලා හිටියා. හරි සල්ලාලයි. අනෙක කටත් එච්චර හොඳ කටක් නෙවෙයි. ............"
පැහැදි ඔය විදියට පටන් අරගෙන දසන්ගෙ අල ගිය තැන්, මුල ගිය තැන්, හැමදේම ගැන දීර්ඝ විස්තරයක් අම්මයි තාත්තයි එක්ක කිව්වෙ ඒ දෙන්නගෙ හිතේ කොල්ලා ගැන තිබුන පැහැදීම නැත්තටම නැති වෙලා යද්දි.

හාල් කෑල්ල (14 කොටස)
"ඉතින්.... අම්මයි තාත්තයි කැමතිද ඔයාලගෙ එකම දෝණිව ඒ වගේ කෙනෙකුට දෙන්න, ම්ම්ම්?"
විස්තරය කියලා අවසානයේ කෙල්ල අම්මගෙනුයි තාත්තගෙනුයි ඇහුවෙ ඒ ප්රශ්නෙ.
"නෑ පුතේ, කීයටවත් නෑ. කවුද දන්නෙ ඔය කොල්ලා ඔහොම අසමජ්ජාතියෙක් කියලා. අපි හිතුවෙ දෙමව්පියෝ වගේම හොඳ ගුණයහපත්, වැදගත් දරුවෙක් කියලනෙ"
"ඔය ඔව් ඒක ඇත්ත, දෝණිට කසාඳ බැඳලා මුළු ජීවිත කාලෙටම ජීවත් වෙන්න වෙන්නෙ කොල්ලා එක්ක මිසක් අම්මයි තාත්තයි එක්ක නෙවෙයිනෙ. දෙමව්පියො කොච්චර හොඳ වුනත් වැඩක් තියනවෑ කොල්ලගෙ හැදියාවක් නැත්නම්. අපේ දෝණිගෙ ජීවිතේ අපායක් වෙයි ඔහොම එකෙක් එක්ක ගියොත්"
අම්මයි තාත්තයි දෙන්නම දසන් ව ප්රතික්ෂේප කලේ ඒ විදියට.
එම සිදුවීමෙන් පස්සෙ නිල්මිණී ලා හා පැහැදි ලා අතර තිබුන හිතවත්කම සම්පුර්ණයෙන්ම බිඳ වැටුනා. දසන් නම් කිහිප වතාවක්ම පැහැදිව මුණ ගැහිලා තමන්ගේ හිතේ කෙල්ල ගැන තියෙන ආදරේ ප්රකාශ කරන්න උත්සාහ කරත් පැහැදි දිගින් දිගටම දසන්ව තරයේම ප්රතික්ෂේප කරපු නිසා පස්සෙ පස්සෙ කොල්ලත් නිහඬ වුනා. පැහැගෙ හිතේ දැන් දසන් ගැන කිසිම වෛරයක්, තරහක් නෑ. ඒ වුනත් කොල්ලා ගැන කිසිම පැහැදීමක් තිබුනෙත් නෑ. කොච්චර වෙතත් කොල්ලා ගැන පොඩි කළකිරීමක් කෙල්ලගෙ හිතේ ඉතිරි වෙලා තිබුනා. ඉතින් ඒ තියෙන උදාසීන හැගීම් එක්ක පැහැදිගෙ හිතේ කවදාවත් දසන් ගැන ආදරයක් උපදින එකක් නෑ කියලා ඇය හිතුවා.
(වසර 5 කට පසු)
එදා වෙසක් පෝය දවසක්. සුදු හයිබ්රිඩ් කාර් එකකින් බැහැලා සුදු මල් වට්ටියක් දෝතින්ම අරගෙන තමන්ගේ ස්වාමිපුරුෂයා එක්ක තොරතෝංචියක් නැතිව සතුටින් හිනාවෙවී කතා කර කර පන්සල වෙත පිය මනින ගැබිනි කාන්තාවක්. මේ දෙන්නා දිහා බලාගෙන ඉන්න තවත් හුරුපුරුදු දෑසක්.
"දෙවියනේ.... පැහැදි, උඹ දැන් අම්මා කෙනෙක් වෙන්නත් යනවා නේද?"
මල්මි පන්සල කියලවත් බලන්නෙ නැතිව දුවගෙන ගිහින් අවුරුදු ගාණකට පස්සෙ දැකපු තමන්ගේ ලබැඳි මිතුරියව වැලඳගත්තෙ හිත පුරා දෝරෙ ගලන සතුටින්.
"මල්මී.... ඔයා... දෙවියනේ.. කොච්චර කාලෙකට පස්සෙද මේ, කැම්පස් සිලෙක්ට් වුනාට පස්සෙ අපි හම්බ වුනාමයි නේද මේ?"
පැහැදිගෙත් හිත පුරා සතුට දෝරෙ ගලනවා. දෙන්නා හරිම සතුටින් ආ ගිය තොරතුරු කතා කරන්න පටන් ගත්තේ වටේ පිටේ හැම දේම ගැන අමතක කරලා.
පැහැදි දැන් කොළඹ විශ්ව විද්යාලයේ ඉංග්රීසි සාහිත්ය පිළිබඳ කථිකාචාර්යවරියක්. මේ වෙනකොට සිව්මස් හැවිරිදි ගැබිනියක්. මල්මි සිලෙක්ට් වුනේ රජරට විශ්ව විද්යාලයට. ඇය දැන් ගුරුවරියක්. වසර තුනක දුෂ්කර සේවයෙන් පස්සෙ මේ ලඟදි තමයි උපන් ගම් පළාතට මාරුව හදාගෙන ඇවිත් තියෙන්නෙ. මල්මි විවාහා වෙලා දැන් අවුරුද්දකට ආසන්නයි.
මේ විස්තර ගැන තමයි දෙන්නා මුලින්ම කතා වුනේ. කාලයකට පස්සෙ හම්බ වෙලා තොරතෝංචියක් නැතුව කියවන මේ යාළුවො දෙන්නට නිදහසේ කතා කරන්න ඉඩ දීලා පැහැදිගෙ හස්බන්ඩ් ටිකක් එහාට ගියා. මල්මි තාම පැහැදිගෙ හස්බන්ඩ් ව හරියට දැක්කෙත් නෑ. බලන්න සිහියකුත් නෑ.

හාල් කෑල්ල (15 කොටස)
"ඒක නෙවෙයි පැහැදි, නැන්දම්මලා එහෙම කොහොමද?"
"අනේ ඒ දෙන්නා නම් එයාගෙ පුතාටයි මටයි කියලා කිසිම වෙනසක් නෑ මල්මි. එයාලගෙ දරුවෙකුට වගේ මට ආදරෙයි. එයාලටත් ඉන්නෙ එක දරුවනෙ. මම job එකට යන නිසා අම්මා මට ගෙදර කිසිම වැඩක් කරන්න දෙන්නෙ නෑ. එයාම හැමදේම කරනවා. මම ඉතින් හස්බන්ඩ් එක්ක කතා වෙලා වැඩට කෙනෙක් ගත්තා. නැත්නම් අම්මා පවුනෙ"
"මගේ හස්බන්ඩ්ගෙ අම්මත් ඔය විදියමයි පැහැදි. මම ජොබ් එකත් කරන ගමන් ගෙදර වැඩත් කරද්දි එයාට දුකයි. මමත් ඉතින් වැඩට කෙනෙක් ගත්තා. නැත්නම් පවු අම්මා. ෆැන්ෂන් ගිහින් ඉන්න කාලෙදිවත් නිදහසේ ඉන්න තියෙන්න එපැයි"
"අනේ ඔව් මල්මි, ඒකනම් ඇත්ත තමා. බබා ලැබුනමත් අම්මයි තාත්තයි බබා බලාගන්නම්ලු. ඒත් එතකොටත් බබා බලාගන්න කෙනෙක් ගන්න ඕන. අම්මලට කියනවා ඇහැ ගහගෙන ඉන්න කියලා. ඔය පිට මිනිස්සු ලඟ දරුවො තනි කරන්න බයයිනෙ. ජොබ් එකෙන් අයින් වෙන්න තියෙනවා නම් හොඳයි. ඒත් අපරාදෙ කියලා හිතෙනවා මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන. අම්මලා තාත්තලා දුක් මහන්සි වෙලා ජොබ් කරලා, දරුවො හදලා, එයාලට උගන්නලා, කසාඳ බන්දලාත් දීලා නිදහස් වුනාට පස්සෙ තවත් එයාලට බරක් වෙන එක හරිම පව්කාර වැඩක්. ඒගොල්ලන්ට මේ අවුරුදු පනස් ගාණටම කිසිම විවේකයක් නෑනෙ. දැන්වත් නිදහසේ ඉන්න දෙන්න ඕන. දැන් කාලෙ හැදෙන යක්ෂ පැටව් එක්ක ඔට්ටු වෙන්න එයාලට බෑ."
"උඹ නම් හරිම හොඳ කෙල්ලෙක් පැහැදි. මමත් කලින් හිතාගෙන හිටියෙ බබලා ඉන්න කාලෙක එයාලා බලාගන්න අම්මලා ඉන්නවනෙ කියලා. ඔයා කිව්වට පස්සෙ තමයි මටත් මේ දේවල් තේරුනේ. මමත් බබලා ලැබුන කාලෙක ඔයා කියපු විදියට කරනවා පැහැදි"
"ඔව් මල්මි, ඒක තමයි ඉතින් අපිට ඉතිරි වෙලා තියෙන හොඳම විකල්පය. ඒක නෙවෙයි. බබෙක් ගැන හිතුවෙ නැද්ද තාම?"
"ම්ම්ම්, මැරි කරලා අවුරුද්දක් වෙන්නත් ලඟයිනෙ. දැන් තමයි ඉතින් බබෙක් ගැන හිතන්නෙ."
"ම්ම්ම්, ඒක හොඳයි මල්මි. අපිත් මැරි කරලා අවුරුද්දකට පස්සෙ තමයි බබෙක් ගැන හිතුවෙ"
"අනේ අනේ, යාළුවො දෙන්නා නම් බරටම කතාව. අපිව නිකමටවත් මතක නෑ නේද, මටත් ඉන්නෙ මරු වයිෆ් කෙනෙක් තමයි. හස්බන්ඩ්ව අඳුන්වලවත් දෙන්නෙ නෑ. යාළුවො හම්බ වුනාම ඔක්කොම අමතකයි"
පැහැදිගෙ හස්බන්ඩ් හිනාවෙවී එහෙම කිව්වේ විහිළුවට කෙල්ලගෙ කොන්ඩෙත් අවුල් කරන ගමන්. ඒ වෙලාවෙ තමයි මල්මි උවමනාවෙන් කොල්ලා දිහා බැලුවේ. කොල්ලාව දැක්ක මල්මිගෙ ඇස් උඩ ගිහින් කටත් ඇරුනෙ කෙල්ල පුදුමයෙන් ගල් ගැහෙද්දි.
"අයියෙ..... ඔයා... පැහැදි, එතකොට ඔයා මැරි කලේ මෙයාවද?

හාල් කෑල්ල (16 කොටස)
"ආහ්... මේ මල්මි නංගි නේද? අම්මෝ දැක්ක කල්. දැන් අඳුරගන්නත් බෑනෙ."
පැහැදිගෙ හස්බන්ඩ්ටත් පුදුමයි එකපාරටම පැහැදිගෙ යාළුවා මල්මි වුන එක ගැන. මේ දෙන්නටම වඩා පැහැදිට පුදුමයි කොහොමද මේ දෙන්නා කලින් ඉඳන්ම මෙච්චර හොඳට අඳුරන්නෙ කියලා.
"මහී, මල්මි ඔය දෙන්නා කලින් ඉඳන්ම අඳුරනවද?"
පැහැදි මාරුවෙන් මාරුවට දෙන්නා දිහාම බල බලා පුදුමයෙන් ඇහුවා.
"මොනවද බං මේ අහන්නෙ. මහිම් අයියනෙ කැම්පස් එකේදි අපේ අයියගෙ බෙස්ට් ෆ්රෙඩා. ඉස්සර කැම්පස් ඉන්න කාලෙ අපේ ගෙදර කී පාරක් නම් ඇවිත් තියෙනවද"
"ඒකනෙ ඒකනෙ, නඳුල් දැන් ස්විට්සර්ලන්ඩ් වල නේද නංගි ඉන්නෙ, පොර තාම මැරි කරලා නෑ නේද?"
"අනේ ඔව් අයියෙ, එයාට කිසිම උවමනාවක් නෑ මැරි කරන්න"
"එහෙම හරියන්නේ නෑනෙ, කවද හරි දවසක මැරි කරන්න එපැයි ඉතින්"
"අනේ මංදා අයියෙ"
පැහැදිගෙ හස්බන්ඩ් මහිම් මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරී විදුලි ඉංජිනේරුවරයෙක්. අවුරුදු 3ක ප්රේම සම්බන්ධතාවයකින් පස්සෙ තමයි දෙන්නා විවාහා වෙලා තියෙන්නේ. දෙන්නගෙම 1st & last love එක තමයි මේ. එකිනෙකාව හොඳින් තේරුම් අරගෙන, තමන්ගේ යුතුකම් නිසියාකාරව ඉටු කරහමින් හරිම සුහදව ජීවත් වෙන යුවළක් තමයි මේ පැහැදි හා මහිම්.
"මල්මි, කෝ එතකොට ඔයාගෙ හස්බන්ඩ්?"
"හස්බන්ඩ් විතරක් නෙවෙයි පැහැදි, එයාගෙ අම්මයි තාත්තයි අපි හතර දෙනාම තමයි අද පන්සල් ආවෙ. එයාලා විහාරෙ පැත්තට ගියා. තව ටිකකින් එයි. එයා ex wife නිසා ගොඩක් හිතේ අමාරුවෙන්නෙ හිටියෙ. මම නිසා තමයි දැන් මේ තත්වෙන් ඉන්නෙ"
"මොකක්, ex wife නිසා?, මල්මි, ඒ කියන්නෙ, එ් කියන්නේ ඔයා මැරි කලේ ඩිවෝස් වෙච්ච කෙනෙක්ද?"
පැහැදි මල්මිගෙන් ඇහුනෙ පුදුමයෙන්.
"හ්ම්ම්ම්, ඔව්. එයා කලින් මැරි කරලා හිටියෙ එයාගෙම නෑනව. ඒ කියන්නෙ නැන්දගෙ දුවව. UK වල හැදිච්ච කෙල්ලෙක්. කෙල්ලත් ලස්සනයි, අනෙක ලඟම නෑයොත් වෙන නිසා අම්මලත් විශ්වාසවන්ත කමට බන්ඳලා දීලා. ඒත් මැරි කරලා ටික කාලයක් යද්දි තමයි දැනගෙන තියෙන්නෙ ඒ කෙල්ල මහ ජරා කෙල්ලෙක් කියලා. UK ඉන්න කාලෙ ලිවින් ටු ගෙදර් ඉඳලත් තියෙනවලු. මැරි කරපු අළුත නම් හරීම අහිංසකයි වගේ ඉඳලා. මාසයක් විතර යද්දි පටන් ගත්තලු පරණ පුරුදු ටික. හැමදාම Club ගිහින් මහා රෑ වෙලා එනවලු බීගෙන. එක එක දවසට එක එක කොල්ලන්ගෙ කර පිටින්. එක එකා එක්ක හොටෙල් ගානෙ යනවලු. එකෙක්ගෙන් සෑහෙන්න බැරි වෙලා ඒකිට. අවුරුද්දක්වත් තිබිලා නෑ ඒ මැරේජ් එක"
මල්මි ඒ අතීතය ගැන සිහිපත් කලේ හරිම කම්පාවෙන්.
"හ්ම්ම්ම්, එහෙමද, මොනා කරන්නද නංගි ඉතින්. කරපු පවු ගෙවන්නත් වෙනවනෙ අපි හැමෝටම, කොල්ලා දැන් අවුලක් නැතුව ඉන්නවා නේද?"
"අනේ ඔව් අයියෙ, දැන්නම් ජොබ් එක කරගෙන පාඩුවේ ජීවත් වෙනවා. මට, එයාලගෙ අම්ම්ට තාත්තට, අපේ ගෙදර අයටත් කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ. එයා රත්තරං මහත්තයෙක්. අර කෙල්ලට පින නෑ එහෙම මනුස්සයෙක්ගෙ හෙවනෙ ඉන්න"
"අනේ ඒක තමයි මල්මි, ඔයා එක අතකින් ලොකු පිනකුත් කරගෙන තියෙනවා. අහිංසක ජීවිතයක් අකාලෙ විනාශ වෙලා යන්න නොදී බේරගෙන"

හාල් කෑල්ල (17 කොටස)
(අවසන් කොටස)
"හ්ම්ම්, ඔව් පැහැදි ඒකත් ඇත්ත තමා, ආහ් අර එන්නෙ හස්බන්ඩ්, අම්මයි තාත්තයි එක්කම"
මල්මි හිනානෙවී අත දික් කරලා පෙන්නපු දිහා පැහැදි වගේම මහිම් හැරිලා බැලුවා. ඈතින් එන තුන්දෙනාව දැක්කම තමයි පැහැදිගෙ ඇස් උඩ ගියේ.
"මොනවා.... දසන් අයියා. මල්මි, එතකොට ඔයා මෙච්චර වෙලා කිව්වේ දසන් අයියා ගැනද?"
"හ්ම් හ්ම්, දසන් අයියා ගැන තමයි"
මල්මි හිනාවෙවී කිව්වා. දසන් සහ අම්මා තාත්තා ඈත ඉඳන්ම ආවෙ කටපුරා හිනාවෙමින්.
"ආහ්, මේ පරණ යාළුවොත් හම්බ වෙලා ඉන්නෙ. කොහොමද නංගි ඉතින්. මේ හස්බන්ඩ් වෙන්න ඇති."
"හොඳයි අයියෙ. ඔව් මේ හස්බන්ඩ්, මහිම්. මහී, මේ දසන් අයියා, මල්මිගෙ හස්බන්ඩ්. අපි A/L කාලෙ ඉඳන් අඳුරනවා. මේ ඉන්නෙ එයාගෙ අම්මයි තාත්තයි"
පැහැදිත් කිසිම වෙනසක් නොපෙන්වා දසන් එක්ක කතා කලා. ඒ වගේම මහිම්ට දසන් සහ අම්මා තාත්තා හදුන්වලා දුන්නා.
"අම්මෙ, දැන් පැහැදි ලෙක්චර් කෙනෙක්. මේ මැරි කරලා ඉන්න අයියා ඉංජිනියර් කෙනෙක්. කැම්පස් එකේදි අපේ අයියගෙ හොඳම යාළුවා."
"අනේ.... කොච්චර හොඳද, ඔය ලැබිලා තියෙන්නේ ගැළපෙනම කෙනෙක්. දුවගෙ තියෙන හොඳ ගතිගුණ නිසා දුවට කවදාවත්ම වරදක් වෙන්නෙ නෑ කියලා අපි දැනගෙන හිටියා. පහු වෙලා හරි දුව වගේම හොඳ දෝණි කෙනෙක්ව ලබා ගන්න අපිත් පිං කරලා තියෙනවා"
නිල්මිණී කිව්වේ ආදරයෙන් මල්මිගෙ හිස පිරිමදින ගමන්.
"අනේ ඔව් ආන්ටි, මල්මි මටත් වඩා හොඳ කෙනෙක්. ආන්ටිලට කවදාවත් වරදක් වෙන්න ඉඩ තියෙන්නේ නෑ"
පැහැදි මල්මි ව වර්ණනා කලේ අවංකවමයි. ලසන්තත් හරිම සුහදව හිනාවෙවී මේ හැමෝම දිහා බලාගෙන හිටියා. දැන් මේ පවුල් දෙකම පරිපූර්ණයි. හැමෝම ඉන්නෙ ගොඩක් සතුටින්. සැහැල්ලුවෙන්. කට්ටියම මල් පූජා කරලා ලොකු හාමුදුරුවෝ එක්ක ටිකක් කතා බහ කරලා එන්න ආවාස ගේ පැත්තට යන්න පිටත් වුනා.
"මේ... සාස්තරකාරි, ඔන්න දැන්නම් මම කාටවත් වචනෙකින්වත් වැරැද්දක් කරන්නෙ නෑ. ආයෙ එහෙම මට කෙළවෙලා යන එකක් නෑ නේද?"
දසන් එහෙම අැහුවෙ පැහැදි සහ මල්මි තනි වුන වෙලාවක් බලලා. එතකොට තමයි මල්මි ට වගේම පැහැදිටත් ඒ අතීතය මතක් වුනේ. දෙන්නටම බකස් ගාලා හිනා ගියා.
"නෑ අයියෙ නෑ. ආයෙ එහෙම වෙන්නෙ නෑ. අපි කාටවත් වචනෙකින්වත් වැරැද්දක් කරන්නෙ නැත්නම් අපිටත් කිසිම වැරැද්දක් වෙන්න ඉඩකඩක් නෑ. ඒ වගේම කරපු පව් ගෙවලා ඉවර වුනාම අපිට හිතුවටත් හොඳ දේවල් ලැබෙනවා"
එදායින් පස්සෙ මේ පවුල් දෙක අතර බිඳ වැටිලා තිබුන හිතවත්කම ආයෙත් ගොඩනැඟුනා. පැහැදි වගේම මල්මිත් දැන් දරුවො තුන් දෙනෙක්ගෙ අම්මා. මේ හැමෝම දැන් හරිම සතුටින් ජීවත් වෙනවා.
සමාප්තයි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...