Wednesday, April 29, 2020

වෙන්වීම

"මොකද ,ගල්වලින් ගහන්නේ...අත පය හිරි වැටිලද ආ.."
"නෑ මගේ සුදු නෝනා උදේම පින්න මලක් වගේ මිදුල අතුගානකොට කොලොප්පමක් කරන්න හිතුනා.."
ඒකයි...
ඇයගේ නපුරු බැල්මට හා නපුරු වදන් වලට ඔහු උත්තර දුන්නේ එලසය....
ඇයට විහිලු කර අවුස්සා ගැනීමද එක්තරා විනෝදයකි.
"බලන්න එපෑයෑ මේකිගේ ගැස්සිල්ල...බලාගෙන ගැලවිලා යයි..."
ඔහු එලෙස පැවසූවේ ඇයට ඇසක්ද ගසාය....
කරමින් සිටි වැඩේද නවතා ඉදලද බිම දමා ඇය ඔහුටත් හොද හැටි රවා නිවසට දුව යන්නේ ඔහුගේ අම්මා මුත්තා සිහි කරවමිනි..
ඔහු පැමින සිටින්නේ ඔහුගේ නැන්දනියගේ නිවසටය... සෑම නිවාඩුවකටම ඔහු මෙලෙස නිවසටවත් නොයා නැන්දනියගේ නිවසට දිව එන්නේ ඇයව බලන්නටය...
තමන්ගේ සිත් ගත් රූමතිය,
අනාගත සහකාරිය..
මාස දෙකකට පමන වරක් ලැබෙන නිවාඩුව මෙලෙස ගෙවා දමන්නේ ඇයගේ රැවුම් ගෙරවුම් අහංකාර කම් මැද්දෙනි...
"සුද්දි... මගේ නිවාඩු ඉවරයි... හෙට අපහු කෑම්ප් එකට යන්න ඕන..,ඊලග පාර එන්න කලින් ඔය හිත වෙනස් වෙයි නේද...
මට ආදරේ කරයි නේද..."
"බලමු"
මේ ඔහුගේ ප්රශ්නෙට ඇයගෙන් ලැබුන එකම කෙටි පිලිතුරය... ඔහු ඇගේ ප්රේමය පතා මෙලෙස දුර කතර නොබලා පැමිනෙන්නේ ඇයට ඇති අසීමාන්තික ආදරය නිසාය....
නමුත් ඇයට එය ගානක්වත් නැතිය...
බලමු යැයි කියා දැමුවේ කිසිම හිතක් පපුවක් නැති විලසය..
" හ්ම්ම්ම්ම්" ඔහු සුසුමක් පිට කර එතනින් පිට වුනේ තවත් කිසිවක් පවසා පලක් නොමැති හෙයිනි...
දිනක් නිවාඩුවට නැන්දාගේ නිවසට ආ විට ඔහුට මැයව දැක ගත හැකි විය.. නිවෙස් දෙක වෙන් වී තිබුනේ මායිම් වැටෙන් පමනි.එදා සිටම වසරක පමන කාලයක් ඇයගෙව් රැවුම් ගෙරවිලි මැද ඇයට ප්රේම කලද එයට ඇයගෙන් කිසිම ප්රතිචාරයක් නොලැබුනි...
____________________________________________
"ගිහින් යාලුවෝ එක්ක කන්න,"
ඇය ඔහුට දිගු කරේ දොදොල් පාර්සලයකි..ඔහු දොදොල් කෑමට හපෙනෙකි.... දොදිල් තාච්චියක් වූවද තරගෙට කෑමට ඔහු හපන්ය...
ඔහුගේ මුහුනේ සිනහවකි. ඇය කිසිම දාක මෙලෙස හැසිරී නැත....
වෙනදාට නිවසින් පිටවීමට පෙර ඒ මුහුන යාන්තමට හෝ දැක ගන්නට ආසාවක් ආවද ඇය ඔහු ඉදිරියට නොඑයි..ඔහු පිටවන තුරුම නිවසට වී සිටියි...
ඇය ඒ තරමට හිතුවක්කාරය....
ඉදින් ඇයගේ මේ වෙනස් වීම ඔහුගේ සිතට ගෙන ආවේ සතුටකි....
"ඔයා ඊයේ අහපු දේට මම කැමැතියි කියලා හිතාගෙන දැන් පරිස්සමට ගිහින් එන්න...."
"ම්ම්ම්ම් දැන් හරි... "
ඔහුගේ එහා මෙහා වී තිබූ කොලරය සාදමින් ඇය පැවසුව්වෙ ඒ මූන දෙස නොබලමින් ලැජ්ජාවෙන් බිම බලාගෙනනය...
ඉදින් ඇයගේ මේ සුකුරුත්තම් වැඩ වලට ඔහුට හිනාය....රිදෙන්නට ඒ කම්මුලක් අල්ලා ඉබින්නට සිතුනද ඒ හැගීම යටපත් කර ගත්තේ ඇයගේ තීරනය වෙනස් වේ යැයි බියෙනි....ඒ තරමටම ඇට මෙන්ම ඇයගේ තීරනද හිතුවක්කරය.....
ඔහු ඇයට ආදරය කිරීමටද පටන් ගත්තේ මේ කෝලම් වලටය.. පවුලේ බඩ පිස්සී වූ නිසා සියල්ලන්ගේම වැඩිපුර ආදරය ඇයට හිමි වී තිබීම හේතුවෙන් ඇයගේ කෝලම් වැඩිය,හිතුවක්කාරකම් වැඩිය....
"මගේ කෝලමී... ඊලග පාර නිවාඩු ආවහම ගෙවල් වලට කියල අපි බදිමු.. ... චූටි පැටව් ගොඩක් හදමු... " හරිද...
ඉදින් ඔහු ඇයත් සමග සිහින මාලිගා සාදා අවසන්ය....
ඇයගේ ආදරය හමුවේ ඔහුද පොඩි එකෙකු වී අවසන්ය.....
දින සති මාස ගෙවී ගියේ ඔවුන්ගේ ආදරය දිනෙන් දින වැඩි කරමිනි....
රංඩු ,සිනහවල් ,සතුට, දුක අනිත් ප්රේම කතා වල මෙන්ම ඔවුන්ගේ ප්රේම කතාවේද නොවඩුව තිබුනි... නමුත් ඒ ආදරය බිදක්වත් අඩු වුනේ නැත....
ඔහුගේ ආදරය හා ඇගේ ආදරය දිනෙන් දින වැඩි වූවා මිස අඩු වූයේ නැතිය....
"සුද්දී මම ගෙදරට කීවා...අපේ අම්මලා ඔයාලගේ අම්මලා එක්ක කතා කරන්න ඕන කීවා...ලගදිම ඔහේ එයි.ඊට පස්සේ ඉතිං මේ මනමාලී මගේ...."
දිනක් ඔහුත් සමග දුර කතනයෙන් කතා කරනා විට ඔහු පැවසූවේ ඉවවහා ගිය සතුටකිනි....... ඔහු ඇගිලි ගනිමින් සිටියේ ඇයව පතිනිය කර ගැනීමටය...
___________________________________________
කාලය ගෙවී ගියේ ඉතා වේගයෙනි.. අද ඇය ඔහුගේ පතිනිය වෙන දවසය... සියලු දෙනාගේ ආශිර්වාද මැද ඔවුන් යුග දිවියට එලබෙයි......
"කොහෙද ඔය ලස්සන හැංගිලා තිබ්බේ.."
ඉදිං ඒ කටට බ්රෙක් නැතිය... ඇය දුටු මොහොතේ පටන් මෙය පවසන තෙක් ඒ මුවට ඉස්පාසුවක් නොතිබුනි....
ඇයගෙන් රැවිල්ලකී... හොද හැටි රැවිල්ලකී...සිටිනා පිරිසද ගානක්නැතිය මේ රැවිල්ලට...
"ඔය කෙලවගත්තේ.. කුම්බලා කරවල කෑවනම් විදවපන් බලලෝ කියන්නේ නිකමටද.කොහැදෑ මේ කට ඉස්සර වෙනවනේ මට වඩා... දැන් ඉතිං අද දවසම රැවුම් තමයි"
ඔහු ඔහුටම කියා ගත්තේ ඇයගේ මේ රැවුම් වලටබය වීය..... ඇයගේ තරම ඔහු හොද හැටි දනී.. මගුල කඩා දමා ගසා යෑමට වූවද හැකිය.. ඒ තරමටම බෝම්බයකි...
සියලු චාරිත්ර වාරිත්ර ,අශ්ටක ,මව් ගුන ගාථා, ජයමංගල ගාථා, මැද ඇයත් ඔහුත් අතිනත ගත්හ...ජීවිතයේ ලැබෙනා ඉහලම සතුට මැද අද ඔවුන් ඔවුන්ගේ විය.. කිසිම ලෙස වෙන් කල නොහැකි පරිදි බැදීමක් ඇති වී හමාරය....
____________________________________________
"තාරාවි වගේ ඔය රෙදි බේසමත් උස්සන් යන් නැතුව ඕක තියනවා ඔහෙන්...මම හෝදන්නම්.."
ඔහු නොබෝ දිනකින් පියෙකි..... ලෝකයේ තිබෙනා උත්තරීතරම සෙනෙහස දරු සෙනෙහසය...ඒ සතුට ඇය ඔහුට ගෙනවිත්ය........ කුටුම්භයක් සම්පූර්ණ වීමට දරුවෙකු සිටිය යුතුය...ඉතිං ඇය මේ උසුලාගෙන සිටින්නේ ඔහුගේ ලේය.. උරුමයය.... දෙමාපියන්ට දරුවන්ගෙන් තොර ලොවක් නොමැතිය... ඔහුටත් එය එලෙසය.... ඇයත් මෙලොව බලන්නට සිටිනා පුංචි පැටියාත් ඔහුගේ ලෝකයය...
ඔහු මේ දවස් කීපයේ ඇයව බලා ගන්නේ ඉතාමත් පරිස්සමෙනි....පුංචිම හෝ වැඩක් කිරීමට ඇයට නොදෙයි.... ඇයගේ සියලුම දේවල් ඉටු වන්නේ ඔහුගේ අතිනි......
යුද බිමේදී ඔහු සතුරාගෙ හතුරෙකි...දෙමාපියන්ට දරුවෙකි,බිරිදට හා නූපන් දරුවන්ට ආදරණීය සැමියෙකි ,පියෙකි...
ඉදින් ඔහුගේ ආදරය කියා පෑමට වෙනත් උපමා රූපක ,අටුවා ටීකා, අනවශ්යය......
දින සති මාස ගෙවී ගිහින් උදා වූයේ සිගිත්තා මෙලොව එලිය දකින දිනයය...
ඔහුට ඉස්පාසුවක් නැතිය....
එහෙට යයි.. මෙහෙට යයි... ආපසු වාඩි වෙයි.... අනෙකුත් පියවරුන් මෙන්ම ඔහුද මේ පිට කරන්නේ ඔහුගේ සිතේ වූ නොසන්සුන් කමයි...තම සිගිත්තා දකිනා තුරු ඔහුට ඉස්පාසුවක් නැතිය...
ලේබරූමයේ දොර ඇරුනි..
"සුභ පැතුම් මිස්ටර්...
ඔයාට දුවෙක්.."
හෙදියක් එලියට පැමින පැවසූ වදන්වලට ඔහුගේ දාස් තෙත් වූයේ නිරායාසයෙනි...
ඉතිං ඒ පවුල සම්පූර්ණය....ඔහු දැන් කුඩා දියනියකගේ පියෙකි... වීරෝදාර පියෙකි...
සතුටු කදුලු වලට ඔහේ ගලන්නට ඉඩ දුනි.. මෙවන් සතුටක් තවත් කොහින්ද....කාලය ගෙවී ගියේ ඉතා වේගයෙනි...
__________________________________________
"ටන්ට්ර ටා... දැන් අම්මලා දුවලා පුතාලා ලුනු යන වෙලාව... ඉක්මනට දුවගෙන එන්නලා...."
ඔවුන් දුවන් ආවේ එක පිම්මේය....එක්කෙන්කෙ කරේ එල්ලීය....අනෙකා බෙල්ලේ එල්ලීය.. අනෙකා බඩේ එල්ලීය..... ඔව් දැන් ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි....
"දැන් අපි අම්මිව කොහොමද ගන්නේ.."
"අම්මියා ඕන නෑ තාත්තී...අපි ලුනු යමු... " ඒ හුරතල් පුතුය.... තාමත් වසර දෙක හමාරක් වන ඔහු එලෙස පවසා සිනා සෙන්නේ කිරි දත් එලියේ දමාය.........
ඔහුගේ රූපෙට හා පාටට උරුමකම් කියන ඔහුගේ කපාපු පලුවය...... ඉදින් මේ කෝලම් මැද නිවාඩුව ගෙවීයනවා දන්නේම නැත..... විටක රංඩු බේරා පන යයි.. තවත් විටක ලුනු පිටේ ගෙනිහින් කොන්ද රිදෙයි..... තවත් වරෙක නාන්නට ගිය විට පොඩ්ඩො තුන් දෙනාටම නාන්න උවමනා වෙයි... ඔවුන්ගේ ලෝකයේ රජ්ජුරුවෝ ඔහුය... ඔහුගෙන් තොර ලොවක් ඔවුන්ට නොතිබිනි.... ඔවුන්ගෙන් තොර ලොවක් ඔහුටද නොතිබිනි... නිදාගන්නටද ගිය විට පස් දෙනාම එකට තුරුල් වී නිදාගනී....ඒ සෙනෙහස නොමැතිව,උනුසුම නොමැතිව ඔහුටද නින්ද නොගිය තරම්ය...
සියල්ල කෙසේ වූවත් ඔහුගේ ලෝකයේ අංක එක ඇයයි..... පොඩ්ඩන්ට යමක් ගන්නා විට ඇයටද ඔහු එය වෙනම ගනී.. එය ඇයට දෙන්නේ පොඩ්ඩන්ට හොරිනි.. නැතිනම් පොඩ්ඩන් එයටද වග කියනා බව සහසුද්දෙන්ම දන්නා නිසාය......
සතුට සැනසුම පිරී තිබූ මේ සිත් වලට ඒ සතුට තිබුනේ බොහොම කෙටි කාලයකි...
"මම හෙට නිවාඩු ඉවර වෙලා යනවා මැනිකේ ආපහු.. පොඩි එවුන්ට කියන්න එපා.. කීවොත් මට ආපහු යන්න දෙන් නෑ."
ඔහුට නිවාඩු පැමින ආපසු යෑමටනම් කවදාවත් පොඩ්ඩන්ගෙන් ඉඩක් නොලැබෙන බව ඔහු හොදාකාරවම දනී... ආපහු යාමට වූ විට හොරෙන්ම යයි... ඒ සමහරක් විට මහ රෑ ඔවුන්ට නින්ද ගිය පසුය... පසුදා ඇහරී ඔහු ඉල්ලා අඩන ඔවුන් සැනසීම ඇයට අමාරු කාරියකි......
අද සිදුවන්නේද එයය.... ඔවුන්ට හොරෙන් පිටවී යාමට මත්තෙනන් ඒ මුහුනු දෙස බලා සිටියේ ආපහු කවදා ඒ මුහුනු දැක ගත හැකි වේදෝ කියාය......
"මේ දවස් වල කලබල වැඩියි මැනිකෙ... ටික දවසකට නිවාඩු ගන්න බැරි වෙයි.."
ඔහුගේ වදන් හමුවේ ඇයගේ දෑස් වලට කදුලු ඉනුවේ නිරායාසයෙනි.. නමුත් ඇයගේ සිත ශක්තිමත්ය...රට වෙනුවෙන් දිවි දෙවනි කොට කැපවෙන රණවිරුවකුගේ ආඩම්බරකාර බිරිදකි.. ඇයත් ඕනම අභියෝගයක් භාර ගැනීමට සූදානම් ගැහැනියකි...... නමුත් ඇය වූවද නොසිතනා දේවල් සිදු වීමට නියමිතය..... එසේ දන්නවානම් මේ ගමන් කිසි සේත්ම ඔහුට යන්නට නොදෙන බව නිසැකය...
වෙනදා මෙන්ම ඔහුගෙන් ඇයගේ නලලට උනුසුම් හාදුවකි... ඔහු පිටව යන තුරු ඇය කඩුල්ල අසලට වී සිට බලාසිටියේ කදුලු පිරුනු දෑසින්ය...කොතෙක් වේලාවක් බලාසිටියාද කියා නොදනී.. ඔහුගේ රුව බොද වී යන තෙක්ම ඇය බලා සිටියේ ඔහුගේ අවසන් ආගමන මෙය යැයි ඇයට දැනුනා හා පරිද්දෙනි....
____________________________________________
ඔව් ඔහු නිහඩය..
කිසිම හැලහොල්මනක් නැතුවම නිහඩය..
වෙනදාට සිනාසෙන විට පිම්බෙන මුහුන අද නැතිය... සිනාහ පොදක්වත් ඒ මුහුනේ නැතිය..වෙනදාට දිලිසෙන ඒ දෙනෙත් අද පියාගෙනය...... නමුත් තාමත් ඒ රුව ගාම්භීරය ..... බලාහිදිනටම සිත් දෙන තරමට ශාන්තය......ඔහු යන්නටම ගොස්ය.. තම දරුවන්, බිරිද ,දෙමාපියන්, සහෝදර සහෝදරියන් ,යහලු මිත්රයන් සියල්ලම දමා ඔහු යන්නම ගොස්ය ......
ඔහු දෙස ඇයට බලා සිටිනට හැකිවනුයේ තව සුලු මොහොතකි...
ඉදින් ඔහු නික්ම යයි... ඒ අභිමානවත් ලෙසය.. ආචාර වෙඩි මුර විසි එකකි.....යුද හමුදා ආචාර පෙලපාලියකි ... ඒ සියල්ල ඔහු වෙනුවෙනි........
නිලයෙන් තත්වයෙන් තනතුරෙන් ඔහු උසස් කොට ඇත....
සිංහ දජය සෙවනේ ඔහු මිහිදන් වීමට සැරසේ...
තවත් එක් වීරෝදාර යුද සෙබෙලෙකුගේ අවසන් හුස්ම පොලවට පස් වීමට නියමිතය..
කිසිත් නොදන්නා දරුවන් ඔහු නැගිටන තෙක් බලා සිටී.... ඔහුට තුරුල් වී නිදාගැනීමට සැරසෙයි.... නමුත් ඔවුන්ට නොතෙරේ ඔවුන්ගේ ආදරනීය පියා ආපසු නොඑනා වග.. තේරුම් කර දීමට වූවද සුදුසු මානසික මට්ටමක අයෙකුද නැතිය.. සියල්ලනම බලාගත් අත බලාගෙනය.. ඇයගේ ඉකිය පමනක් වරින් වර ඇසේ...
ඔහු පොලාට,රටට ලෝකෙට බර නැති වීර සෙබලෙකි....
තම දිවි දෙවනි කර සතුරු ඉලක්ක වෙනුවෙන් නොබියව සටන් කල උත්තම පුරුශයෙකුය....
ඔහු ඇයගේ ස්වාමියාය.
දරුවන් තිදෙනෙකුගේ පියෙකුය
ඔහු තම ජීවිතය පූජා කලේ තම දරුවන්ගෙ මෙන්ම සමස්ත දරු පරපුරගේම අනාගතය වෙනුවෙනි......
ඇය වැන්දබුවක් නොවේ, උදාර වීරෝදාර සෙබෙලෙකුගේ බිරිදකි... රට වෙනුවෙන් තම ජීවිතය කැප පූජා කල වීරෝධාරයකුගේ පතිනියකි...සංසාරය පුරාවට බවයෙන් බවය පතාගෙන ආ පාදපදචාරිකාවකි...
ඔහු නිකම ගොස්ය.. සියල්ලන්ටම නොපවසාම නික්ම ගොසිනි ..ඔහුගේ ලෙයින් ඉපදුනු දරුවන් තිදෙනෙකු දායාද කර නික්ම ගොස්ය.. නමුදු ඔහුගේ සුසුම් තවමත් මේ වාතලයේ සක්මන් කරයි.. සතුරාට ඔහු සතුරෙකු වූවද අපට වීරවරයකි.... මරු කටේ වූවද ජීවිතය නොතකා සටන් කල වීරයෙකි..... තවත් එක් ආදවන්තයෙකි......ආදරනීය පියෙකි...
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
________________නිමි.________


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...